Sunday, May 5, 2024

General line - 0115112241

බගවන්තලාවේ ප්‍රදේශයක් හුදෙකලා කෙරේ : කොළඹ ආසාදිතයින්ගේ අඩුවීමක් 




නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බලප‍්‍රදේශයේ චැපල්ටන් වත්තේ ‘පී එස්’ කොටස අද පෙරවරුවේ සිට හුදකලා කෙරුණා. ඒ,  එම වතු ප‍්‍රදේශයෙන් සැලකිය යුතු කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තාවීම හේතුවෙන්. නුවරඑළිය දිස්ති‍්‍රක්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 25 දෙනෙකු වාර්තා වූ බවයි කොවිඞ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. මේ වනවිට එම දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 882 ක්.

මේ අතර දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවීමක් ගත වු දින කිහිපයේදී දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. ඊයේ දිනයේදී මෙරටින් ආසාදිතයින් 458 දෙනෙකු වාර්තා වූ අතර කිසිදු දිස්ති‍්‍රක්කයකින් ආසාදිතයින් සියය ඉක්මවා නොතිබීම විශේෂත්වයක්. 

කොළඹ දිස්ති‍්‍රක්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 94 දෙනෙකු, ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 76 දෙනෙකු සහ රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 59 දෙනෙකු වාර්තා වුණා. සෙසු දිස්ති‍්‍රක්කවලින් වාර්තා වී තිබුණේ ආසාදිතයින් 229 දෙනෙකු පමණයි. ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා මරණ 4 ක් වාර්තා වුණා. ගල්කිස්ස, කොටුගොඩ, බොරලැස්ගමුව සහ වත්තල යන ප‍්‍රදේශවලින් මෙම කොරෝනා මරණ වාර්තා වූ බවයි කොවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.