Monday, April 29, 2024

General line - 0115112241

අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන හම්බන්තොටින් ඇරඹේ




”සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්තියට අනුව අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ, ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේදීයි.

රට පුරා කෘෂි අපනයන ගම්මාන කලාප පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ හම්බන්තොට දිස්ති‍්‍රක් කෘෂි අපනයන ගම්මානයට ආරම්භය තබමින් අග‍්‍රාමාත්‍යවරයා අඹ පැළයක් රෝපණය කිරීම එහිදී සිදු කළා. අනතුරුව ඉහළ අලූ‍ත් වැවට මත්ස්‍යයින් මුදා හැරීම ද අග‍්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණු බවයි අග‍්‍රාමාත්‍ය කාර්යයාලය සඳහන් කළේ.

මෙම වැඩසටහනට සමගාමීව අනෙකුත් බෝගවලට අමතරව හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ කජු පැළ ලක්ෂයක් වගා කිරීමට ශී‍්‍ර ලංකා කජු සංස්ථාව සැලසුම්කර තිබෙනවා. වර්තමානයේ දළ ජාතික නිෂ්පාදිතයට අපනයන කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයෙන් සියයට 2 ක් ව පවතින දායකත්වය 2025 වසර වනවිට සියයට 4 ක් දක්වා වැඩි කිරීම හා කෘෂි ව්‍යවසායකත්වය ප‍්‍රවර්ධනය කිරීම මෙම ජාතික වැඩසටහනේ අරමුණයි. 

ඒ අනුව පළාත් නවය තුළ පාරිසරික, දේශගුණික තත්ත්වයන් අනුව සුදුසු, අපනයනය ඉලක්ක කර ගත් කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග හා අඹ,මී මැසි පාලනය වැනි අපනයන ඉලක්ක කර ගත් හා ආනයනය අවම කර ගත් බෝග වගා කිරීම සිදු වන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යයාලය වැඩිදුරටත් සඳහන් කළේ.

අනුරාධපුර, කුරුණෑගල දිස්ති‍්‍රක්කයන්හි වගාබිම් හා වගාකරුවන් හඳුනා ගනිමින් වගා කලාප ඇති කිරීමේ මූලික අදියරේ වැඩ කටයුතු දැනටමත් කි‍්‍රයාත්මක අතර 2021 වසර අවසන් වන විට දිස්ති‍්‍රක්ක 10 ක කෘෂි අපනයන ගම්මාන 100 ක් ස්ථාපිත කිරීමට නියමිතයි