Monday, April 29, 2024

General line - 0115112241

කොවිඞ්, ලෝක ක‍්‍රිකට් පිටියටත් යලි බලපෑම් කරයි




කොවිඞ් පාලනය සාර්ථක කර ගැනීම හේතුවෙන් ලෝක ප‍්‍රසංසාවට ලක් වූ නවසීලන්තයේ ජන ජීවිතයට යලි බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ, එරට අග‍්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඞ්න් විසින් අද උදෑසන නවසීලන්තය තුන්වන අවධානම් මට්ටමේ ඇති බව ප‍්‍රකාශ කිරීමත් සමගයි. ඒ අනුව ක‍්‍රීඩා තරග වැනි ජනතාව ඒකරාශි වීම් අවලංගු කරනු ඇති. 

ඊට ප‍්‍රධානතම හේතුව වුයේ නවසීලන්තයේ විශාලතම නගරය වන ඔක්ලන්ඞ් නුවර සතියක කාලයක් වසා දැමීමට එරට අග‍්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඞ්න් තීරණය කිරීමත් සමඟයි. ඒ අනුව නවසීලන්තයේ මෙන්ම ලෝක ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයින්ගේ ද දැඩි ආකර්ශණයක් දිනා ගනිමින් මේ වන විට පැවැත්වෙන නවසීලන්ත - ඔස්ටේ‍්‍රලියා පන්දුවර 20 තරගාවලියේ ඉතිරි තරගය පේ‍්‍රක්ෂකයින්ට තහනම් කරනු ඇති බවටයි වාර්තා පල වී ඇත්තේ. ඔක්ලන්ඞ් නුවර පැවැත්වීමට තිබූ තරගය වෙලින්ටන් නුවර වෙත රැගෙන යාමටද එරට ක‍්‍රීඩා බලධාරීන් මේ වන විටත් පියවර ගෙන අවසන්.

එංගලන්ත කාන්තා කි‍්‍රකට් කණ්ඩායමද මේ වන විට සිටින්නේ නවසීලන්ත සංචාරයකට එක්වයි.  ඕස්ටේ‍්‍රලියා සහ නවසීලන්ත කණ්ඩායම් දෙකම මෙම සතියේදී පිටියට පිවිසීමට නියමිතව තිබුණා. කෙසේවෙතත් පවතින අවධානම සලකා ඉතිරි තරග පේ‍්‍රක්ෂක සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමට මේ වන විට තීරණය කර තිබෙනවා.

ඔක්ලන්ඞ් යනු කොවිඞ් ව්‍යාප්තිය හමුවේ බලපෑමට ලක්වූ නවසීලන්තයේ ප‍්‍රධාන නගරයක්. කොවිඞ් අවධානමත් සමග එහි කිසිදු තරගයක් මෙතෙක් පවත්වා නැහැ. ඒ අනුව  ඕක්ලන්ඞ්හිදී පැවැත්වීමට සැලසුම් කර තිබු පළමු තරගය වූයේ නවසීලන්ත -  ඕස්ටේ‍්‍රලියා තුන්වන පන්දු වාර 20 තරගයයි. එහෙත් පවතින තත්ත්වය හමුවේ එම තරගයද  ඕක්ලන්ඞ්හිදී පැවැත්වෙන්නේ නැහැ.

එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකුට බි‍්‍රතාන්‍යයෙන් හඳුනාගත් කොවිඞ් වෛරසයේ නව ප‍්‍රභේදය ආසාදනය වීම හේතුවෙන් මීට පෙරද දින 3 ක කාලයක් සඳහා ඔක්ලන්ඞ් නුවර වසා දැමුණා. කොවිඞ් වසංගතය සාර්ථකව පාලනය කිරීමේ රටවල් අතර පෙරමුණේ පසුවන නවසීලන්තයෙන් මෙතෙක් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 2,372 දෙනෙකු පමණයි.