Monday, April 29, 2024

General line - 0115112241

හොර පාරින් ඉතාලි යන්නගිය තරුණිය කටුනායක දී කොටුවෙයි




කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් සහ ඉතාලි වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක අද 21 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය පුත්තලම , කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක්.

ඇය අද 21 දින අලුයම 3.15 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ගුවන් යානා ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමේ කවුළුව වෙත පැමිණි ඇය ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි සම්බන්ධයෙන් මතු වූ සැකයක් මත , එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් , එම ලේඛන පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

එහිදී එම නිලධාරීන් විසින් සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන් වලදී , මෙම තරුණිය ඉදිරිපත් කර තිබූ ගුවන් ගමන් බලපත්‍රය , ඉතාලි වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කර ඇති බව තහවුරු විය .

එහිදී මෙම තරුණියගේ ජායාරූපය යොදා ගෙන , ඉතාලි වීසා බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකික කාන්තාවකගේ තොරතුරු ඇතුළත් කර මෙම ව්‍යාජ වීසා බලපත්‍රය සහ ගුවන් ගමන් බලපත්‍රය සකස් කර තිබුණි .

එසේම මෙම තරුණිය ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍රයෙහි මීට පෙර ගමන් ගෙන තිබූ ගමනාන්ත වසන් කිරීම සදහා , ඇතැම් පිටු ගලවා ඉවත් කර , ඒ වෙනුවට වෙනත් ව්‍යාජ පිටු ගනනාවක් එක් කර ඇති බව ද මෙම නිලධාරීන් විසින් සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන් වලදී අනාවරණය වී තිබුණි .

එමෙන්ම මෙම ගුවන් ගමන් බලපත්‍රයෙහි ව්‍යාජ ලෙස සකස් කළ ශ්‍රී ලංකා විගමන මුද්‍රාවක් ද තිබූ අතර , මෙම ගුවන් යානයට ප්‍රවේශ වීම සදහා ව්‍යාජ ලෙස සකස් කර තිබූ අවසර පත්‍රයක් ද ඇය සතුව තිබී මෙම නිලධාරීන් සොයා ගැනීමට සමත් වී තිබුණි .

පසුව තවදුරටත් ඇය රැගෙන විත් තිබූ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී , ඒවා තුළ තිබී මෙම තරුණිය සතු සැබෑ ගුවන් ගමන් බලපත්‍රය ද සගවා ගෙන තිබියදී මෙම නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි .

ඉන්පසුව මෙම ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම තරුණිය අත් අඩංගුවට ගෙන , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කිරීම සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .