Monday, April 29, 2024

General line - 0115112241

PCR ප්‍රථිපල ඒමට පෙර සංගීත පුටු තරගයට ගිය අයෙකුට කොරෝනා : දැනට ආසාදිතයින් 38ක් අවුරුදු උත්සවයෙන් හමුවෙයි




දිවුලපිටිය ප්‍රදේශයෙන් ගතවූ දින 02 ක කාලය තුලදී කොවිඩ් ආසාදිතයින් 91ක් දෙනෙකු වාර්තා වී ඇති බව ප්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යු.ටි. කුලතිලක සඳහන් කර සිටිනවා.

මේ වන විට ප්‍රදේශය තුල කොවිඩ් ව්‍යාප්තියේ වේගවත් බවක් පෙන්නුම් කරන බවත් කොවිඩ් ආසාදිතයින් සමග ගැටුණු පළමු පෙළ ආශ්‍රීතයින් දින 03ක් වැනි කෙටි කාලයක් තුලදී ආසාදිතයින් බවට පත්වන අයුරු දක්නට ලැබෙන බවයි ඔහු සඳහන් කර සිටියේ.

දිවුලපිටිය, අස්වැන්නවත්ත ග්‍රාමයේ පැවති අවුරුදු උත්සවයකින් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 38 දෙනෙකු වාර්තා වී ඇති බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඒ.යු.ටි. කුලතිලක සඳහන් කර සිටිනවා. 

හලාවත ප්‍රදේශයේ ලංගම ඩිපෝවේ සේවය කරනු ලබන පුද්ගලයෙකු ඉකුත් 13 වෙනිදා PCR පරීක්ෂණයකට ලක්ව සිය නිවසට පැමිණ ඇති අතර 15 වෙනිදා පැවති අවුරුදු උත්සවයට ඔහු සහභාගිවී තිබෙනවා. 

එහිදී ඔහු සංගීත පුටු තරගයට ඉදිරිපත්වී තිබෙන බවට ද තොරතුරු වාර්තා වී ඇති බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

එම ලංගම සේවකයා ගේ සිදුකළ PCR පරීක්ෂණ වාර්තාවේ ප්‍රථිපල අප්‍රේල් 16 වෙනිදා නිකුත් වී ඇති අතර ඉන් ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇත. ඒ අනුව ඔහු සහභාගිවූ අවුරුදු උත්සවයෙන් පමණක් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 38 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

මේ අතර දිවුලපිටිය, මැල්ලවගෙදර ග්‍රාමයේ විනෝද චාරිකාවකට සහභාගී වූ පුද්ගලයින් 44 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. මෙම පිරිස පසුගියදා විනෝද චාරිකාවකට එක්ව සිට ඇති බවයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යු.ටි. කුලතිලක වැඩිදුරටත් සඳහන් කළේ.