Monday, April 29, 2024

General line - 0115112241

සුපිරි ඕවරයෙන් අවසන් වූ සන්රයිසස් හයිද්‍රාබාද් සහ දිල්ලි කැපිටල් තරගය




අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කරමින් සුපිරි පන්දුවාරයේ ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.චෙන්නායිහි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලූ 4ක් දැවී ලකුණු 159ක් ලබා ගත්තා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ද නියමිත පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලූ 7ක් දැවී ලකුණු 159ක් ලබා ගනිමින්. ජොනී බෙයාර්ස්ටව් පන්දු 18කින් වේගවත් ලකුණු 38ක් ලබා ගනිමින් සන්රයිසස් කණ්ඩායමට මනා ආරම්භයක් ලබා දුන්නා.

කේන් විලියම්සන් හැර වෙනත් කිසිදු මැද පෙල පිතිකරුවෙකුගෙන් ඉනිමට සැලකිය යුතු දායකත්වයක් ලැබුණේ නැහැ. හුදෙකලා සටනක නිරත වූ විලියම්සන් පන්දු 51කින් නොදැවී ලකුණු 66ක් රැස් කළේ හතරේ පහර 8ක් සමගින්. ජගදීෂා සුචිත්, පන්දු 6කින් නොදැවී ලකුණු 15ක් ලබා ගනිමින් තරගය ලකුණු සම තත්ත්වයට රැගෙන ඒමට දායකත්වය ලබා දුන්නා.

අනතුරුව ලබා දුන් සුපිරි පන්දුවාරයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 7ක් රැස් කළා.

අවසන් පන්දුවට ඔවුන් ලකුණු 2ක් කරා දිව ගිය ද, එම අවස්ථාවේ දී ඩේවිඩ් වෝනර් නියමිත පරිදි සීමා ඉර සළකුණු නොකිරීම හේතුවෙන් සන්රයිසස් කණ්ඩායමෙන් ලකුණක් කපා හැරීමටයි විනිසුරුවන් කටයුතු කළේ. ඒ අනුව ලකුණු 8ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දිල්ලි කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී අවසන් පන්දුවේ දී තරගයේ ජය තහවුරු කර ගත්තා.