Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 05 ඉක්මවන ලකුණු : මියයන පුද්ගලයින්ගේ සිරුරූ ආදාහනය ඥාතීන්ට භාරවෙද්දී වෛරසය ආසාදිත මව්පියන්ව ඇතැමුන් මහ පාරේ අත් හැර යයි (PHOTOS)




ඉන්දියාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින දෙවන කොවිඩ් රැල්ල හේතුවෙන් ලබන මැයි මාසය වන විට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5ක් සහ මරණ සංඛ්‍යාව 5,700 ඉක්මවා යනු ඇති බවට විශේෂඥයින් අනතුරු අඟවා සිටිනවා.

ඔවුන් සඳහන් කරන්නේ ඉන්දියාව මේ දක්වා කොවිඩ් දෙවන රැල්ලේ උපරිම ස්ථානයට පැමිණ නොමැති බවයි. 

එළෙඹෙන මැයි මස 2-3 වන සතිය වන විට කොවිඩ් ව්‍යාප්තියේ උපරිම ස්ථානයට ඉන්දියාව ලඟා වෙනු ඇති බවයි විශේෂඥයින් අනතුරු අඟවා සිටින්නේ.

මේ අතර පිට පිට 05 වන දිනයටත් අද දින ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් තුන් ලක්ෂය ඉක්මවා වාර්තා වුවා. ගතවූ පැය 24 තුලදී ද ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 354,531ක් සහ මරණ 2,806ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර දිනෙන් දින ඉහල යන කොවිඩ් ආසාදිතයින්ගේ මළ සිරුරූ ආදාහනය කිරිමට නොහැකිව එරට ආදාහනාගාර සහ සුසාන භුමි සේවකයින් දැඩි පරිශ්‍රමයක් දරන මට්ටමට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.  

ඇතැම් ආදාහනාගාරවල කොවිඩ් මළ සිරුරූ ආදාහනය කිරීමට තරම් සේවකයින් නොමැති නිසා මියගිය පුද්ගලයින් ගේ ඥාතීන්ටම ඔවුන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට සිදුව ඇති බවට වාර්තා වනවා.

දිනෙන් දින උග්‍රවන කොවිඩ් ආසදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ගතවූ වසර 02 තුළදී විශ්‍රාම ගිය ආරක්ෂක අංශවලට සම්බන්ධ වෛද්‍ය අංශ සේවකයින්ට යලි සේවයට වාර්තා කරන ලෙස ඉන්දීය රජය ඇරයුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ අතර හෙට සිට සති 02 ක කාලයක් සඳහා කර්ණාටක ප්‍රාන්තය ලොක්ඩවුන් කිරිමට බලධාරීන් අද තීරණය කර තිබෙනවා.

මේ අතර මියගිය කොවිඩ් ආසාදිතයින්ගේ සිරුරූ භූමදානය කරන නව දිල්ලියේ විශාලතම මුස්ලිම් සුසාන භුමියේ ඉඩ ප්‍රමාණවත් නොවන මට්ටමකට එනු ඇති බවට එහි භාරකරුවන් බිය පළකර සිටිනවා.

මේ අතර ඇතැම් පුද්ගලයින් කොවිඩ් ආසාදිත වයෝවෘද්ධ සිය මව්පියන් මාර්ගයේ අත්හැර ගොස් සිටියදී හමුවූ බවට තොරතුරු ලැබී ඇති බව එරට පොලිසිය සඳහන් කර සිටිනවා. කාන්පුර් ප්‍රදේශයේ දී එලෙස අත්හැර දමා ගොස් සිටි මවක් මියගොස් සිටියදී හමුවූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සිරුරූ ප්‍රවාහනය කිරිමට පැරණි ගිලන් රථ යොදා ගැනීම නිසා ඒවා ප්‍රවාහනය කිරීමේදී සිරුරක් එම රථයෙන් මහ මග වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වන විට එරට සමාජ මාධ්‍ය තුල ව්‍යාප්ත වෙමින් පවතිනවා.

මේ අතර දිල්ලිය, නොයිඩා, ලක්නව්  ඇතුළු ප්‍රදේශ රැසක රෝහල්වල ඉඩ පහසුකම් නොමැතිකමින් කොවිඩ් ආසාදිතයින්ට නිවෙස් වලදී ප්‍රතිකාර ලැබීමට සිදුව ඇති අතර ඔක්සිජන් සපයා ගැනීමට කලු කඩ ජාවාරම්කරුවන්ට විශාල වශයෙන් මුදල් ලබාදීමට සිදුව ඇති බව BBC පුවත් සේවය වාර්තා කර සිටිනවා.

ඉන්දීය රුපියල් 6,000ක් වන ඔක්සිජන් සිල්න්ඩරයක් මේ වන විට අලෙවි කරනු ලබන්නේ රුපියල් 50,000ක මිලකට බවයි වාර්තා වන්නේ.