Monday, May 6, 2024

General line - 0115112241

උපුල් තරංගට කොරෝනා - ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයත් කල් දැමේ




ශ්‍රී ලංකන් ග්‍රේට්ස් ඉලෙවන් සහ ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ලබන 06වනදා පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගය කල් දමා තිබෙනවා. ඒ, ශ්‍රී ලංකන් ග්‍රේට්ස් ඉලෙවන් කණ්ඩායමේ ක්‍රීඩක උපුල් තරංගට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්. ඊයේ සිදු කළ පී සී ආර් පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ.

ඉකුත් දිනවල උපුල් තරංග ඇතුළු ශ්‍රී ලංකන් ග්‍රේට්ස් ඉලෙවන් කණ්ඩායමේ ක්‍රීඩකයින් කොළඹ එස් එස් සී පිටියේදී පුහුණුවීම්වලද නිරත වුණා. ශ්‍රී ලංකන් ග්‍රේට්ස් ඉලෙවන් කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයින්ගේ පි සී ආර් පරීක්ෂණ අද පස්වරුවේ ලැබීමට නියමිතව තිබෙනවා. 

මේ අතර සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා. සිව්වන දිනය නිමාවන විට ලකුණු 437 දැවැන්ත ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 05ක් දවාගෙන ලකුණු 177ක් ලබා සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 493ක් සහ දෙවන ඉනිම සඳහා ලකුණු 194ක් රැස් කළා. බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 251 පමණයි.

බංග්ලාදේශ පළමු ඉනිමේදී කඩුලු 06ක් බිද හෙලූ යොවුන් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම දෙවන ඉනිමේදීද බංග්ලාදේශ පිතිකරුවන් දෙදෙනෙකු දවා ගත්තා. 

රමේෂ් මෙන්ඩිස් කඩුලු 03යි. මෙම තරගය ජය ගැනීම සඳහා බංගලාදේශ කණ්ඩායම තවත් ලකුණු 260ක් ලබා ගත යුතු වනවා. අතැතිව ඇත්තේ කඩුලු 05ක් පමණයි. හෙට තරගයේ අවසන් දිනයයි.