Thursday, May 16, 2024

General line - 0115112241

රිෂාඩ් සහ ප්‍රේමලාල්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර




එළඹෙන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට නියමිත බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමලාල් ජයසේකර සහ රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු රැස්වීම් සදහා කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබෙනවා. ඒ පිළිබදව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාටද දන්වා ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ වනවිට අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගිවීමට ඉල්ලීමක් කරන්නේ නම් පමණක් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට රැගෙන ඒමට පියවර ගන්නා ලෙසයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට ලිපි මගින් දැනුම් දී ඇත්තේ.

ඊට අමතරව රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගිවීමට සිය එකඟතාව පළ කරන්නේ නම් ඒ සදහා ද කථානායකවරයාගේ නියෝගය ඇතුළත් ලිපියක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමුකර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තුවට කැඳවා ගෙන ආ යුත්තේ රජය විසින් දැනට පනවා ඇති සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුවයි. 

කථානායකවරයා වෙනුවෙන් වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපිවල ඒ සම්බන්ධයෙන්ද වැඩිදුරටත් කරුණු දක්වා තිබෙනවා.