Sunday, May 5, 2024

General line - 0115112241

ඊශ්‍රායල් - පලස්තීන ගැටුම ගැන ශ්‍රී ලංකාවෙන් නිවේදනයක්




ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ යුධ ගැටුම් ඉහළ යාම පිළිබද ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙරට පලස්තීන තානාපතිවරයා හමුවී පවතින තත්ත්වය පිළිබද දැඩි කණස්සල්ල පළ කළ බවයි. එමෙන්ම පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් සහ ජීවිත සුරැකීම සම්බන්ධයෙන් පවතින උනන්දුව පිළිබදවද විදේශ අමාත්‍යවරයා එහිදී දැනුම් දී තිබෙනවා.  ගැටුම් නවතා සාමය යළි පිහිටුවන ලෙසද ශ්‍රී ලංකා රජය සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර ගාසා තීරයේ ඊශ්‍රායල් පලස්තීන ගැටුම් උත්සන්න වීම හේතුවෙන් ඊශ්‍රාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ද අවධානමකට ලක්ව සිටිනවා. ප්‍රහාර එල්ල වුවහොත් ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙස ඊශ්‍රායල බලධාරීන් දැනුවත් කර තිබෙන බවයි එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් පැවසුවේ. මේ, ඊශ්‍රායලයේ පවතින තත්ත්වය පිළිබද නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන තල්දූවගමගේ රනිල්.

මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් තොරතුරු විමසූ බවයි විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පැවසුවේ. 
එහි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ තොරතුරු රැස් කරමින් සිටින බවද විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.