Sunday, May 5, 2024

General line - 0115112241

11 වන දිනටත් ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ගුවන් ප්‍රහාර 100 ක්




අඛණ්ඩව 11 වන දිනටත් ඊශ්‍රායලය, ගාසා තීරයට අද ගුවන් ප්‍රහාර එල්ල කළා. ඒ අනුව ඊශ්‍රායලය දෙසින් ගාසා තීරයට අද දිනයේදී ගුවන් ප්‍රහාර 100 ක් පමණ එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. ගාසා තීරයේ සිට හමාස් සටන්කාමීන් ද ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කර ඇතත්, ඒවායින් බහුතරයක් සාර්ථකව ව්‍යාර්ථ කර තිබෙනවා. 

මේ අතර ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර හමුවේ ගාසා තීරයේ විදුලි බල සැපයුම ද බිඳ වැටී තිබෙනවා. ගාසා තීරයට විදුලි බලය සපයන ඊශ්‍රායලයේ විශාලතම පෞද්ගලික විදුලි සමාගම ගාසා තීරයට යළි විදුලි බලය සැපයීම සඳහා කොන්දේසි ඉදිරිපත් කර ඇතැයි සඳහන්. ඒ අනුව එහි සේවකයින් පවසන්නේ හමාස් සංවිධානය අතින් ඝාතනයට ලක්වූ ඊශ්‍රායල හමුදා සාමාජිකයින් දෙදෙනෙකුගේ සිරුරු යළි භාරදෙන තුරු විදුලිබල සැපයුම යථාතත්ත්වයට පත් නොකරන බවයි.

කෙසේවෙතත් අදාළ හමුදා සාමාජිකයින් දෙදෙනා මියගොස් ඇත්තේ 2014 වසරේදී පැවැති ගැටුම්වලින් බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඊට අමතරව එම කාලය තුලදී හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු ද නිදහස් කළ යුතු බව එම සේවකයින් පවසා තිබෙනවා. 

කෙසේවෙතත් ඊශ්‍රායලය හා හමාස් සටන්කාමීන් අතර මේවනවිට හටගෙන ඇති ගැටුම් හමුවේ ගාසා වැසියන් 230 දෙනෙකු හා ඊශ්‍රායල වැසියන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව අවසන්.