Thursday, May 16, 2024

General line - 0115112241

අදත් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් : පානදුර රෝහලේ කොවිඩ් රෝගීන් පිරි යයි (VIDEO)




ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,909 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 556 දෙනෙකු හදුනා ගැණුනු අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නාරාහේන්පිට ප්‍රදේශයෙන්. එම සංඛ්‍යාව 127ක්. පාදුක්ක ප්‍රදේශයෙන් ආසාදිතයින් 81 සහ හෝමාගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 40 දෙනෙකුද ඊයේ වාර්තා වුණා.

ගම්පහ දිස්ත්‍රික්කයේන් ඊයේ වාර්තා වු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 354ක්. ඉන් ආසාදිතයින් 69 දෙනෙකු මීරිගම ප්‍රදේශයෙන් වාර්තා වි තිබෙනවා. ආසාදිතයින් 55 දෙනෙකු රාගම ප්‍රදේශයෙන් සහ ආසාදිතයින් 39 දෙනෙකු කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. 

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 407 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. එම දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කළුතර ප්‍රදේශයෙන්. එම සංඛ්‍යාව 78ක්. පානදුර දකුණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 68 දෙනෙකුද ඊයේ වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනයේදී බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,300කට අධිකයි. මේ අතර ඊයේ දිනයේදී කුරුණෑගල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් 200 ඉක්ම වූ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණා. 

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 157ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 107ක්, කෑග්ලල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 120 දෙනෙකු සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 133 දෙනෙකුද ඊයේ වාර්තා වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර පානදුර මූලික රෝහලේ කොරෝනා වාට්ටුවේ රෝගීන් සංඛ්‍යාවද වැඩි වී තිබෙනවා. ඇදන් 12කින් යුත් එම වාට්ටුවේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 25 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. බොහෝ රෝගීන් ඇදන් නොමැති වීම හේතුවෙන් බිම වැතිරී සිටින බවද රෝහල් ආරංචි සඳහන් කළා.

පානදුර මූලික රෝහලේ කොරෝනා වාට්ටුවේ පවතින තද බදය දැක්වෙන විඩියෝවක් නෙත් නිවුස් ප්ලස් යූටියුබ් නාලිකාවෙන් ඇතුළත්. ඊයේ දිනයේදී පානදුර දකුණ සහ පානදුර උතුර ප්‍රදේශවලින් පමණක් කොරෝනා ආසාදිතයින් 102 කු වාර්තා වුණා.