Sunday, May 5, 2024

General line - 0115112241

සයිනොෆාම් එන්නත ගැන සුවිශේෂී හෙළිදරව්වක්




චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ තෙවන අදියරේ සායනික පරීක්ෂාවේ අවසන් වාර්තාව එළිදක්වා තිබෙනවා. ඒ, අමෙරිකානු වෛද්‍ය සංගමය විසින්. අදාළ වාර්තාව සම්බන්ධයෙන් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය ද ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන දින 14 කින් පසු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී බරපතළ තත්ත්වයට පත්වීම සියයට සියයකින් වළක්වාලන බවයි.  

ඊට අමතරව මෙම එන්නත කොරෝනා වෛරසයට එරෙහිව සියයට 78 යි දශම 1 කින් ප්‍රතික්‍රියා කරන බවත්, කොවිඩ් -19 වෛරසයට එරෙහි උදාසීන ප්‍රතිදේහ නිපදවීම එම එන්නතට ඇති හැකියාව සියයට 99 ක් පමණ වන බවත්, චීන තානාපති කාර්යාලය සිය ට්විටර් සටහන මගින් පෙන්වා දී තිබෙනවා. 

මේ අතර ඉන්දියාව පළමු වරට එක් පුද්ගලයෙකු සඳහා කොරෝනා මර්දන එන්නත් වර්ග දෙකකින් ලබාදීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාව මේවනවිටත් පුද්ගලයින් 20 දෙනෙකුට එලෙස කොරෝනා එන්නත් වර්ග දෙකක මාත්‍රා ලබාදී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඉන්දියාව එලෙස භාවිත කර ඇති කොරෝනා මර්දන එන්නත් වන්නේ ඇස්ට්‍රාසෙනෙකා කෝවිෂීල්ඩ් එන්නත හා ඉන්දියාව තුළම දේශීයව සංවර්ධනය කරන ලද කොවැක්සින් එන්නතයි. 

මෙහිදී තෝරා ගැනුණු පුද්ගලයින් සඳහා පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා දී තිබෙනවා. අනතුරුව ඔවුන්ට ලබා දිය යුතු දෙවන මාත්‍රාව සඳහා ලබාදී ඇත්තේ කොවැක්සින් එන්නත් මාත්‍රාවක්. කෙසේවෙතත්, එලෙස එන්නත් මිශ්‍ර කර ලබාදුන් පුද්ගලයින් 20 දෙනා සෞඛ්‍ය සම්පන්නව සිටින බව හා මෙතෙක් ඔවුන්ට කිසිදු අතුරු ආබාධයක් නොමැති බවයි බලධාරීන් පැවසුවේ.