Monday, May 6, 2024

General line - 0115112241

විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාව මත සේවයට කැදවන්නැයි අගමැතිගෙන් උපදෙස්




විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, හෙද සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව අද අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයි.

දිවයින පුරා හෙද හෙදියන් 34,000 ක් පමණ සේවයේ යෙදී සිටින අතර ඔවුන් දැනට මුහුණ පා ඇති ගැටලුවලට කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් සහ යෝජනා සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.

එහිදී හෙද හෙදියන්ට ලබා දෙන දීමනා සහ පහසුකම් ඉහළ දැමීම සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් අදහස් පළ කර තිබෙනවා. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධ රෝහලේ සහ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩි සත්කාර ඒකකයට නුපුහුණු හෙදියන් යොදා ගැනීම සම්බන්ධයෙන් ද උන්වහන්සේ එහිදී අදහස් පළ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළා.

එහිදි අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ වාර්ෂිකව පුහුණුව සඳහා බඳවා ගන්නේ හෙද හෙදියන් 2,000 ක් තරම් අඩු පිරිසක් බැවින් එවැනි තත්ත්වයක් උද්ගව ඇති බවයි. දැනට එම ඒකකවල සේවය කරන නුපුහුණු හෙද හෙදියන් අදාළ ඒකකවල කටයුතු කරන කාලය ද පුහුණු කාලයට එක් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

ඊට අමතරව දැඩි සත්කාර ඒකකවල සේවයට කෙටි කාලීන පුහුණු වැඩසටහන් හඳුන්වා දෙන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩි දුරටත් සදහන් කළා.