Tuesday, May 7, 2024

General line - 0115112241

පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිළේ ගෞරවය තරමකට රැකගනී




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 05 කින් ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 යි පන්දු 03 කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 185 ක් පමණයි.

නායක කුසල් ජනිත් පෙරේරා ලකුණු 73 ක් සහ වනිදු හසරංග ලකුණු 54 ක් රැස් කළා. ඔවුන් දෙදෙනා එක්ව 4 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබදතාව ලකුණු 99 ක්. කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් ලකුණු 18 කට කඩුලු 04 ක් බිදහෙලූ අතර ඩේවිඩ් විලී ලකුණු 44 කට කඩුලු 03 ක් දවා ගත්තා.

ලකුණු 186 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට පහසුවෙන් එම ඉලක්කය කරා යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 04 ලකුණු 80 ක් තුළ බිදවැටුනා.

ආරම්භක පිතිකරු ජොනී බැරිස්ටෝව් ලකුණු 43 යි. ඉන් අනතුරුව පිටියේ එක්වූ ජෝ රූට් සහ මෝයින් අලී පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සබදතාවක් ගොඩනැගුවා. මෝයින් අලී ලකුණු 31 කට දැවී ගිය අතර ජෝ රූට් නොදැවී ලකුණු 79 ක් රැස්කරමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් උඩපන්දු කිහිපයක් අත්හැරීම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තරගයේ ජයග්‍රහණය ගිලිහීයාමට හේතුවක් වුණා.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 50 කට කඩුලු 03 ක් දවාගත් අතර බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් දවා ගත්තා. දෙරට අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට පැවැත්වීමට නියමිතයි.