Sunday, May 19, 2024

General line - 0115112241

අර්ජුනගේ ප්‍රකාශයකට ක්‍රිකට් ආයතනයෙන් උත්තර




තරග සංචාරයක් සදහා දිවයිනට පැමිණ ඇත්තේ ඉන්දීය දෙවන පෙළ කණ්ඩායමක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ එලෙස පැමිණ ඇති ඉන්දීය කණ්ඩායම ඉතා ශක්තිමත් කණ්ඩායමක් බවයි. ඉන්දීය දෙවන පෙළ කණ්ඩායමක් ශ්‍රී ලංකා සංචාරය සදහා යොමු කර ඇති බව ඉකුත්දා මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු නායක අර්ජුන රණතුංගද ප්‍රකාශ කර තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඉන්දීය සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් 20 දෙනාගෙන් 14 දෙනෙකුම ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් බවයි. ඇතැම් පාර්ශව පවසන පරිදි එම කණ්ඩායම දෙවන පෙළ කණ්ඩායමක් නොවන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ. ඉන්දීය සීමිත පන්දුවාර සංචිතය මෙරටට පැමිණ ඇත්තේ ඉන්දීය ටෙස්ට් කණ්ඩායම තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා එංගලන්ත සංචාරයක නිරතව සිටින අතරවාරයේ දී බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවා. ලොව ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම් මේ වන විට ඒ ඒ තරග රටා සදහා විශේෂ වූ සංචිත හා ක්‍රීඩකයින් බිහි කරමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකා තරග සංචාරයක නිරත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ සිය පළමු පුහුණු සැසියට එක් වුණා. ඒ,  කොළඹ එස්.එස්.සී ක්‍රිඩාංගනයේදීයි. ඉන්දීය කණ්ඩායමේ නිරෝධායන කාලසීමාව මෙතෙක් අවසන් වී නොමැති නමුත්, ඊයේ සිට ජූලි 4 වනදා දක්වා ඔවුන්ට නිරෝධායනයට ලක් වන අතරතුරම පුහුණුවීම් සදහා ද එක්වීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.  

මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශිකර් දවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයට ක්‍රිඩකයින් 20 දෙනෙකු සහ දැල් පන්දු යවන්නන් 5 දෙනෙකු ඇතුළත්. එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, 20යි 20 තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවලදීයි. සියලූ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.