Tuesday, April 30, 2024

General line - 0115112241

න්‍යෂ්ටික අවි ගැන ඇමරිකාවෙන් චීනයට පණිවිඩයක්




න්‍යෂ්ටික අවි තරගය වැළැක්වීම අරමුණු කරගත් අවිහරණ වැඩපිලිවෙළ සාර්ථක කර ගැනීම සදහා ඒකාබද්ධව කටයුතු කිරීමට එක්වන්නැයි ඇමරිකාව චීනයට දැනුම්දීමක් කර තිබෙනවා.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් මෙම ප්‍රකාශය සිදුකර ඇත්⁣තේ චීනය අලුතින් අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල  විදින සියයක් පමණ ස්ථාපිත කරන බවට වාර්තා පළවෙමින් පවතින පසුබිමකයි.

චන්ද්‍රිකා ඡායාරූප සහිතව වොෂින්ටන් පෝස්ට් පුවත්පත පසුගියදා වාර්තා කර තිබුණේ වයඹ දිග චීනයේ ගන්ෂු පළාතේ කාන්තාරබද ප්‍රදේශයක අලුතින් මිසයිල් විදින සියයකට ආසන්න සංඛ්‍යාවක් ස්ථාපිත කිරීමට චීනය කටයුතු කරමින් සිටින බවටයි.

චීනය හදිසියේම මෙලෙස සිය න්‍යෂ්ටික බලය වැඩි කිරීම  අවබෝධ කරගත නොහැකි ප්‍රශ්නකාරී ප්‍රවේශයක් බව ද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් සදහන් කරනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ මොහොතේ කටයුතු කළ යුත්තේ අවි තරගය පවත්වාගෙන යාමට නොව පාලනය කිරීමට බවයි.

දැනට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව චීනය සතුව අන්තර් මහාද්වීපික බැලස්ටික් න්‍යෂ්ටික මිසයිල දෙසීයත්  තුන්සියයත් අතර සංඛ්‍යාවක් පවතින අතර නව විදින ස්ථාපිත කිරීමේ අරමුණ වී ඇත්තේ ඒවායේ ප්‍රහාරක හැකියාව දියුණු කිරීම බව සදහන්.

ඇමරිකාව සතුව අන්තර් මහාද්වීපික න්‍යෂ්ටික බැලස්ටික් මිසයිල 3000ක් පමණ පවතින්නේ යැයි විශ්වාස කෙරෙන අතර ඒවායින් 1500ක් පමණ ප්‍රහාර එල්ල කළ හැකි ලෙස රදවා ඇති බවයි පැවසෙන්නේ.