Tuesday, April 30, 2024

General line - 0115112241

සමාජ මාධ්‍යයට සම්මුඛ සාකච්ඡා දුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අත්හිටවූ ක්‍රිකට් තහනමක් (VIDEO)




ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්‍ෂට වසර දෙකකට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, ඔහු ඉකුත්දා සමාජ මාධ්‍ය කිහිපයකට ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ ක්‍රියාවලිය ඇතුළු ක්‍රිකට් සැලසුම් පිළිබද ලබාදුන් මතභේදාත්මක සම්මුඛ සාකච්ඡා හේතුවෙන්.

ඒ හරහා ඔහු 2019 - 2020 ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ වගන්ති උල්ලංඝණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. භානුක රාජපක්‍ෂ ඉදිරි වසර දෙකක කාලය තුළ සිදුවූ වරද හා සමාන වරදක් කළහොත් වසරක ක්‍රිකට් තහනමක් බලපැවැත්වෙනු ඇති. මෙම අත්හිටවන ලද තරග තහනමට අමතරව භානුක රාපක්‍ෂට අමෙරිකානු ඩොලර් පන් දහසක දඩයක්ද නියම කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් භානුක රාජපක්‍ෂ ඉන්දීය තරගාවලිය වෙනුවෙන් හෙට සිට දැනට ක්‍රියාත්මක ජෛව ආරක්‍ෂක බුබුළට එක්වීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා. ඒ, ඔහු ශාරිරික යෝග්‍යතා පරීක්‍ෂණය සමත්වීම හේතුවෙන්.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු දත්ත විශ්ලේෂකයෙකු වූ සනත් ජයසුන්දරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද වසර 7 ක ක්‍රිකට් තහනමක් පනවනු ලැබුවා. ඒ, ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනත උල්ලංඝණය කර ඇති බවට සනාථවීමත් සමගයි. 

ඒ අනුව සනත් ජයසුන්දරට පැනවූ මෙම ක්‍රිකට් තහනම 2019 වසරේ මැයි මස 11 වනදා සිට බලපැවැත්වෙනු ඇති. හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට අල්ලස් ලබාදීමට උත්සාහ කිරීමේ සිද්ධියට අදාළව සනත් ජයසුන්දරට එරෙහිව එම තහනම පනවා තිබෙනවා.