Sunday, May 19, 2024

General line - 0115112241

බලධාරීන්ගේ වරදකින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට ඔලිම්පික් වරම් අහිමි වෙයි




මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල පිළිබද බලාපොරොත්තු තබා සිටි මීටර් 3,000 කාන්තා බාධක දිවීමේ ධාවන ශූරිය වන නිලානි රත්නායකගේ එම සිහිනය බොදව ගොස් තිබෙනවා. ඒ, බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන්.

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 3,000 කාන්තා බාධක දිවීමේ ඉසව්ව සදහා ශ්‍රේණිගත කිරීම්වලට අනුව ක්‍රීඩිකාවන් 45 දෙනෙකු තෝරා ගැණෙනවා. කෙසේවෙතත් තෝරා ගැනීම් කාලසීමාව අවසන් වනවිට නිලානි රත්නායක එහි පසු වුණේ 46 වන ස්ථානයේයි. තමන් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගිවීම සදහා අපේක්‍ෂාවෙන් පසු වුවද බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් තමන්ට එම අවස්ථාව අහිමි වූ බවයි සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් තබමින් නිලානි රත්නායක සදහන් කර තිබුණේ.

ක්‍රීඩා බලධාරීන් මෙලෙස නොසැලකිලිමත් ආකාරයෙන් කටයුතු කළහොත් මෙරට තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට සිය ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීමට නොහැකි වනු ඇති. නිලානි රත්නායකට සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් හෝ ක්‍රීඩා අමාත්‍යවරයා ඒ පිළිබදව අවධානය යොමු කරනු ඇතැයි යන්න ක්‍රීඩාවට ආදරය කරන සැමගේ විශ්වාසයයි.

මේ  අතර මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්ව සදහා නිමාලි ලියනාරච්චි සුදුසුකම් ලබාගත් බව ජාතික ඔලිම්පික් කමිටුව සදහන් කළා. ඒ අනුව මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සදහා ශ්‍රී ලංකාව නියොජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු සහභාගිවීමට නියමිතයි.