Thursday, May 9, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දැඩි කොරෝනා අවධානමක




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැඩි කොරෝනා අවදානමකට මුහුණ පා තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. ඒ අනුව එංගලන්ත සංචාරයට සහභාගී වූ සියලුම ක්‍රීඩකයින් හදිසි PCR පරීක්ෂණයකට යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ.

එක් PCR පරීක්ෂණයක් ඊයේ දිනයේ සිදුකර ඇති අතර තවත් PCR පරීක්ෂණයක් ලබන ඉරිදා රාත්‍රියේ සිදු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ ක්‍රීඩකයින් කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ඉකුත් බදාදා දිනයේදී ලබාගෙන තිබූ බවයි. පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලයේ සියලුදෙනා නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඒ, ඔවුන් ඉකුත් බදාදා දිනයේදී මුණ ගැසී සාකච්ඡා කර තිබීම හේතුවෙන්. මෙලෙස නිරෝධායනය කළ පිරිස අතරට ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් ද අයත්. 

ශ්‍රී ලංකාව සමග පැවැති ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ එංගලන්ත කණ්ඩායමේ 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මේවනවිට තහවුරු වී තිබෙනවා. ඒ අතරට ක්‍රීඩකයින් තිදෙනෙකු හා පුහුණු කාර්යය මණ්ඩලයේ සිව්දෙනෙකු අයත්. ඒ අනුව එංගලන්ත සංචිතය ස්වයං නිරෝධායනයට ලක් කිරීමටයි තීරණය කර ඇත්තේ. 

එංගලන්ත - ශ්‍රී ලංකා 03 වන එක්දින ක්‍රිකට් තරගයෙන් පසු කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් සහ කාර්යය මණ්ඩලය එකට ගැවසී ඇති බවට ද වාර්තා පළ වනවා. මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙම හදිසි කොරෝනා අවදානමට මුහුන පෑමට සිදුව ඇත්තේ ඉන්දීය තරගාවලිය ආරම්භ වීමට දින 03 ක් පමණක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයක්. කෙසේවෙතත්, ක්‍රීඩා ආරංචි මාර්ග පැවසුවේ එළඹෙන ඉන්දීය තරගාවලියට පවතින තත්ත්වය බලපෑමක් නොකරනු ඇති බවයි. එහෙත්, ක්‍රීඩකයින්ගේ PCR වාර්තා ලැබීමත් සමග ඉන්දීය තරගාවලිය තීරණය වනු ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.