Thursday, May 9, 2024

General line - 0115112241

ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂණ ප්‍රතිපළ අද පස්වරුවේ




කොරෝනා අවදානමකට මුහුණ පා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සම්බන්ධයෙන් සිදුකළ PCR  පරීක්ෂණ ප්‍රතිපළ අද පස්වරුවේ ලැබීමට නියමිතයි.

ඒ අනුව ඉදිරි ඉන්දීය සංචාරය එහි ප්‍රතිපළ මත තීරණය වනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස කොරෝනා අවදානමකට මුහුණ පා සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

ඒ අනුව එංගලන්ත සංචාරයට සහභාගී වූ සියලුම ක්‍රීඩකයින් හදිසි PCR පරීක්ෂණයකට යොමු කෙරුණා.

ඔවුන් සියලු දෙනා රඳවා සිටින හෝටල් කාමර තුළම රඳවා තැබීමටයි කටයුතු කර ඇත්තේ.

නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අනාවරණය වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් කොරෝනා මර්දන එන්නත ලබාගැනීම මීට පෙර ප්‍රතික්ෂේප කළ අයෙකු බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් මේ වන විට කොරෝනා මර්දන එන්න්තක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවද අනාවරණ වුණා.

පවතින අවදානම් තත්ත්වයත් සමඟ එළඹෙන ඉන්දීය ක්‍රිකට් තරඟ සංචාරය සඳහා ශ්‍රී ලංකාව 25 දෙනෙකුගෙන් යුත් නවක සංචිතයක් නම් කර ඇතැයි වාර්තා වනවා. ඒ අතරට භානුක රාජපක්ෂ, අශේන් බණ්ඩාර, කසුන් රාජිත, ළහිරු කුමාර සහ මිනොත් භානුක අලුතින් කැඳවා ඇති බවටයි වාර්තා වන්නේ.

මෙතෙක් ක්‍රිකට් වරම් දිනාගෙන නොමැති ළහිරු උදාර ද ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමටයි තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය ලබන අඟහරුවාදා ආරම්භ වනවා. පළමුව පැවැත්වෙන්නේ එක්දින ක්‍රිකට් තරඟ 03 යි.

මෙම තරඟාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක නම්කර තිබෙනවා. උප නායකයා වන්නේ ධනංජය ද සිල්වායි.

ඉකුත් එංගලන්ත තරඟාවලියේදී ශ්‍රී ලංකා පිළේ නායකයා ලෙස කටයුතු කළ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා නායකත්වයෙන් ඉවත් කර ඇති නමුත් ඔහු ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්.