Wednesday, May 8, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් අයෙකුට කොරෝනා




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දත්ත විශ්ලේෂක ජී. ටී. නිරෝෂන්ට ද කොවිඩ් වෛරසය ආසාදනය වි ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඔහු පසුගියදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස තරඟාවලි සඳහා ද එක්ව තිබුණා. එංගලන්තයේ සිට පැමිණීමෙන් අනතුරුව සංචාරයට එක්වූ සියලුදෙනා ඇන්ටිජන් සහ පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබු අතර එහිදී සියලුදෙනා ආසාදිත නොවන බවටයි පරීක්ෂණ වාර්තා වල සටහන්ව තිබී ඇත්තේ. 

නමුත් ඊට දින කිහිපයකට පසුව පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඔහුට දෙවැනි පීසීආර් පරීක්ෂණයක් සිදුකළ අතර ඔහු ආසාදිත බවට තහවුරු වූයේ ඒ අනුවයි. සියලු ක්‍රීඩකයින් කොවිඩ් එන්නත් ලබා ගත්තද ග්‍රාන්ට් ෆ්ලවර් මෙරටදී ලබාදුන් කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කර ඇති බවයි ක්‍රිඩා වාර්තා පැවසුවේ. පසුව ඔහු සමඟ සිටි සියලු දෙනා නිරෝධායනයට යොමු කෙරුණා. ඔවුන් නැවත වරක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකෙරුණු අතර එහිදී කණ්ඩායමේ දත්ත විශ්ලේෂක ජී. ටී. නිරෝෂන් ද ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

ඉකුත් දා ශ්‍රී ලංකා කණ්ඩායම සමග ක්‍රිකට් තරඟවලට එක්වූ එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් ඇතුලු 07 දෙනෙකුට කොරෝනා ආසාදිත බවට ඉකුත් දා තහවුරු කෙරුණා. ඒ අනුව එංගලන්තයටද සිදුවුනේ මේ වන විට ක්‍රියාත්මක පාකිස්තාන තරඟාවලිය සඳහා නවක කණ්ඩායමක් නම් කිරීමටයි.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකා - එංගලන්ත අවසන් එක්දින තරඟයෙන් පසු කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් එකට එක්වී ඇති බවයි. කෙසේ වෙතත් එංගලන්ත සංචාරයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවටයි මෙතෙක් සිදු කළ පීසී ආර් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ. 

එංගලන්ත සංචාරයට එක් වූ සියලු ක්‍රීඩකයින් ලබන 12 වනදා වන තුරු නිරෝධායනයට ලක් කර ඇති බවටද වාර්තා වනවා. ලබන ඉරිදා දිනයේ දී සියලු සාමාජිකයින් යළි පීසීආර් පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතයි. එහි ප්‍රතිපල අනුව ලබන 13 වනදා ඉන්දියාවට එරෙහිව ආරම්භ වන එක්දින තරගාවලිය සදහා අදාළ ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය තීරණය වනු ඇති.

එම ක්‍රීඩකයින්ට අදාළ තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ඒ සදහා ආදේශ කිරීම වෙනුවෙන් මේ වන විටත් විකල්ප කණ්ඩායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සූදානම් කරමින් සිටින බව ද සදහන්. පවතින තත්ත්වය මත ඉන්දීය තරඟවලට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත වටපිටාවක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.