Thursday, May 9, 2024

General line - 0115112241

තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොරෝනා




ශ්‍රී ලංකා සංචිතයට කැදවා සිටින සදුන් වීරක්කොඩිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඉන්දීය තරගාවලිය වෙනුවෙන් අවශ්‍ය වුවහොත් ආදේශ කිරීම සදහා සූදානම් කර තිබූ විකල්ප කණ්ඩායමට කැදවා සිටි සදුන් වීරක්කොඩිට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු තවත් ක්‍රීඩකයින් 15 දෙනෙකු සමග කොළඹ දී පුහුණුවීම්වල නිරතවෙමින් සිටියේ කොළඹ ප්‍රධාන හෝටලයක් තුළ නිර්මාණය කළ ජෛව ආරක්ෂිත බුබුලක් යටතේයි. සදුන් වීරක්කොඩි, භානුක රාජපක්ෂ ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් පුහුණු තරග ක්‍රීඩා කිරීම සදහා ඊයේ රාත්‍රීයේ දී දඹුල්ලට පිටත් කර හැර තිබුණා.

උද්ගත වූ තත්වය මත භානුක රාජපක්ෂ, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා ඇතුලූ කොළඹදී ජෛව ආරක්ෂිත බුබුලක රැදී සිටි සියලූ ක්‍රීඩකයින් මේ වන විට නිරෝධායනය යොමු කර තිබෙනවා.  එංගලන්ත සංචාරය නිමා කර දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ජී ටී නිරෝෂන් මීට පෙර කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනා ගෙන තිබුණා. මේ වන විට එංගලන්ත සංචාරයට එක් වූ සියලූ ක්‍රීඩකයින් නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන් හෙට දිනයේ යළිත් පී සී ආර් පරික්ෂණයකට මුහුණදීමට නියමිතව තිබෙනවා.


මේ අතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලියන්හි සංශෝදිත නව තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද ප්‍රකාශයට  පත් කළා. ඒ අනුව මෙම එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය ලබන 18 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

එක්දින තරග 3,  ජූලි 18, 20 හා 23 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර, 20යි 20  තරග තුන,  ජූලි 25, 27 හා 29 යන දිනවලදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. මෙම තරගාවලිය මීට පෙර ආරම්භ කිරීමට නියමිතව තිබුණේ ලබන 13 වැනිදායි. සියලූ තරග සැලසුම් කර පරිදි කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.