Thursday, May 9, 2024

General line - 0115112241

ක්‍රිකට් ක්‍රිඩිකාවක් විම්බල්ඩන් ටෙනිස් කිරුල දිනයි




මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලේ බාටි ඊයේ සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේදී චෙක් ජනරජයේ කැරොලිනා ප්ලිස්කෝවා පරාජය කරමින්.
 

කාන්තා කේවල ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලේ බාටි මෙම තරගය ජය ගත්තේ 06 - 03ක්, 06-07ක් සහ 06-03ක් ලෙසයි.
ඇය දිනා ගත් දෙවන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවයද මෙය වනවා.

ඇය මීට පෙර 2019 වසරේදී ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළද දිනා ගත්තා. විම්බල්ඩන් කාන්තා කේවල ශූරතාව දිනා ගත් ඈෂ්ලේ බාටි, ක්‍රිකට් ක්‍රීඩාවටද දක්ෂ ක්‍රීඩිකාවක්.

ඇය 2015 වර්ෂයේ පැවති ඕස්ට්‍රේලියානු කාන්තා බිග්බෑෂ් තරගාවලියේදී බ්‍රිස්බේන් හිට්ස් කණ්ඩායමද නියෝජනය කළා.

ඊයේ පැවති විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් තරගය නැරඹීම සඳහා විලියම් කුමරු සහ කේට් කුමරිය මෙන්ම ටොම් කෘෂ් ඇතුලු හොලිවුඩ් රංගන ශිල්පීන් කිහිප දෙනෙකුද පැමිණ සිටියා.

මේ අතර කෝපා අමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය බ්‍රසීලයේ මරකානා ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙනවා.

ඒ, ලියොනොල් මෙසී ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම සහ නේමාර් ද සිල්වා ප්‍රමුඛ බ්‍රසීල් කණ්ඩායම අතරයි.

තරගයේ පළමු අර්ධය නිමා වන විට ගෝල් 01ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටියේ ආජන්ටිනා කණ්ඩායමයි.

22 මිනිත්තුවේදී ඩි මරියා විසින් එම ගෝලය වාර්තා කිරීමට සමත් වුණා. තරගයේ දෙවන අර්ධය මේ වන විට ආරම්භ වී තිබෙනවා.