Sunday, May 5, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තාවකාලික පුහුණුකරුවෙක්




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තාවකාලික පිතිකරණ පුහුණුකරුවෙකු පත් කර තිබෙනවා. ඒ, ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය ඉලක්ක කර ගනිමින්. ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය පිතිකරණ පුහුණුකරු වන ග්‍රාන්ට් ෆ්ලවර්ට කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් එම තනතුරට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ධම්මික සුදර්ශන පත් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනය පියවර ගෙන ඇත්තේ.

ධම්මික සුදර්ශන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ හිටපු ප්‍රධාන පුහුණුකරුවාද වනවා. වනිදු හසරංග, ධනංජය ද සිල්වා, කමිදු මෙන්ඩිස්, ධනංජය ලක්ෂාන් සහ චරිත් හසලංක යන ක්‍රීඩකයින් ඔහු යටතේ පාසල් සමයේදී පුහුණුව ලැබූ ක්‍රීඩකයින්. 

සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරග 3 ක් සහ පන්දුවාර 20 තරග 3 ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම තරගාවලියේ සියළු තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර තරග ආරම්භ වන වේලාව සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව එක්දින තරගාවලියේ තරග පස්වරු 3 ට ආරම්භ වන අතර පන්දුවාර 20 තරගාවලියේ තරග රාත්‍රී 8 ට ආරම්භවීමට නියමිතයි. දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන 18 වනදා පැවැත්වීමට නියමිතයි.