Thursday, May 2, 2024

General line - 0115112241

ජය පෙනි පෙනී ශ්‍රී ලංකාව දෙවන එක්දින තරඟයත් පරදියි




ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඬුලු 03 ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ තවත් තරඟයක් ඉතිරිව තිබියදී 2 ට බිංදුවක් ලෙස දෙරට අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය ද ජය ගනිමින්.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඬුලු 09 ක් දැවී ලකුණු 275 ක් ගස් කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 65 ක් රැස් කළ අතර අවිශ්ත ප්‍රනාන්දු ලකුණු 50 ක් රැස් කිරීමට සමත් වුණා. චාමික කරුණාරත්න නොදැවී ලකුණු 44 යි.

ලකුණු 276 ක ජයග්‍රාහී ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල් කඬුලු 05 ලකුණු 116 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම තරඟයේ ජයග්‍රහණය තමන් සතු කරගත්තේ පන්දුවාර 49 යි එක් පන්දුවකදී කඬුලු 07 කට 277 ක් රැස් කරමින්.

පසුපෙළ පිතිකරුවන්ගේ ඉවසිලිවන්ත පිතිහරඹය ඉන්දිය කණ්ඩායමේ ජයග්‍රහණයට හේතු වුණා. අංක 06 පිතිකරු ලෙස පිටියට පිවිසි දීපක් චහාර් නොදැවී ලකුණු 69 ක් රැස් කළේ ඉන්දීය ජයග්‍රහණයේ නියමුවා බවට පත් වෙමින්. සූර්ය කුමාර් යාදෙව් ලකුණු 53 ක් රැස් කිරීමට සමත් වුණා. 

ඉන්දීය පිතිකරුවන්ට තර්ජනයක් වෙමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 37 කට කඬුලු 03 ක් දවා ගත්තා. තරඟයේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේ ලකුණු 69 ක් සහ කඬුලු 02 ක් දවාගත් දීපක් චහාර්. දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟය ලබන 23 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.