Friday, May 3, 2024

General line - 0115112241

පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ නායකයා සහ පුහුණුකරු උණුසුම් සංවාදයක




සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීමෙන් පසු නායක දසුන් ශානක සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් අතර ක්‍රීඩා පිටිය තුළ ඇති වූ සංවාදය පිළිබඳ මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

ඔවුන් අතර උණුසුම් වාදයක් සිදුවන ආකාරය දැක්වෙන ඡායා රූප කිහිපයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

මෙම තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් පැවතියත් ඉන්දිය කණ්ඩායම තියුණු සටනකින් පසු අවසන් පන්දු වාරයේදී තරඟය ජය ගත්තේ කඬුලු 03 ක් පමණක් අතැතිව සිටියදීයි.

තරඟය අතරතුර පන්දු රකින්නන් යොදවා සිටි ආකාරය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතින් යම් යම් අතපසුවීම් සිදුවන අවස්ථාවලදී ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු කනස්සල්ලට පත්ව ප්‍රතිචාර දක්වන ආකාරය ද දැකගත හැකි වුණා.

ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු සහ ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන රසල් ආනල්ඩ් ප්‍රකාශ කර ඇත්තේ එම සිදුවීම ක්‍රීඩා පිටිය තුළ නොව ක්‍රීඩකයින්ගේ විවේකාගාරය තුළ සිදුවිය යුත්තක් බවයි.

එම ට්විටර් සටහනට ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර්ද ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එහි දක්වා ඇත්තේ අදාළ අවස්ථාවේ තමන් සහ දසුන් ශානක අතර ඉතා හොඳ විවාදයක් ඇති වූ බවය‘. එය වැරදි ලෙස දැකීමට අවශ්‍ය නොවන බවත් ජයග්‍රහණයේදී මෙන්ම පරාජයේදීද බොහෝදේ ඉගෙන ගන්නා බවත් මිකී ආතර් සිය ට්විටර් සටහනේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.    

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඊයේ තරඟයේදී වැඩිම ලකුණු රැස් කළ චරිත් අසලංක පැවසුවේ ජයග්‍රහණය සිය කණ්ඩායමේන් ගිලිහීයාම පිළිබඳ කණගාටුවට පත්වන බවයි.

එහිදී මාධ්‍යවේදියෙකු නැගූ තවත් ප්‍රශ්නයකට චරිත් අසලංක මෙලෙස පිළිතුරු ලබා දුන්නා.