Saturday, May 11, 2024

General line - 0115112241

සමාරම්භය පෙනි පෙනී ඔලිම්පික් මොළකරු ධූරයෙන් නෙරපයි




2020 ටෝකියෝ ඔලිම්පික් උළේලේ සමාරම්භක උත්සවයේ අධ්‍යක්‍ෂ කෙන්ටාරෝ කොබයාෂි එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඒ, ඔහු විසින් මාධ්‍ය හමුවකදී සිදුකළ උපහාසාත්මක ප්‍රකාශයක් පදනම් කර ගනිමින් බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඔහු එලෙස උපහාසයට ලක් කර ඇත්තේ මිට පෙර සිදුව තිබූ සමූල ඝාතනයක් බවයි පැවසෙන්නේ.

අදාළ සිදුවීම පිළිබඳ කරුණු සිදුකළ සොයා බැලීමකින් අනතුරුව සමාරම්භක උත්සවයේ අධ්‍යක්‍ෂවරයා එම තනතුරෙන් ඉවත් කළ බව ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයින් පවසනවා. ජපානයේ ඔලිම්පික් ප්‍රධානී සයිකෝ හෂිමොටෝ පැවසුවේ කෙන්ටාරෝ කොබයාෂි විසින් සමච්චලයට ලක් කර තිබෙන්නේ ඉතිහාසයේ වේදනාකාරී සිදුවීම් බවයි. 

කෙසේවෙතත් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයේ අධ්‍යක්‍ෂවරයා මෙලෙස එම තනතුරෙන් ඉවත් කර තිබෙන්නේ ඔලිම්පික් උළෙලේ ආරම්භයට පැය 22 ක පමණ කාලයක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයක්. මෙවර ඔලිම්පික් උළෙල සමරන්නේ ද කොරෝනා ව්‍යාප්ති අවදානමක් මධ්‍යයේයි. කොරෝනා අවදානම හේතුවෙන් 2020 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල මේ දක්වා කල් දැමුණා. අනතුරුව මෙම වසරේ ගතවු කාලසීමාව තුලදී ඔලිම්පික් උළෙලට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු සිය තනතුරු වලින් ඉවත් වී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

කෙසේවෙතත්, 2020 ටෝකියෝ ඔලිම්පික් උළේලේ සමාරම්භක උත්සවයේ අධ්‍යක්‍ෂවරයා ඉවත් කිරීමෙන් පසුව හෙට පැවැත්වෙන උත්සවය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් සංවිධායකයින් යළිත් සමාලෝචනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ. සමාරම්භක උත්සවය නැරඹීම සඳහා ක්‍රීඩාංගනයට ඇතුළුවීමට අවස්ථාව උදාවී ඇත්තේ ද 950 දෙනෙකුට පමණයි.