Sunday, April 28, 2024

General line - 0115112241

ගිනිකෙළි මැද, නිහඬවම, ඔලිම්පික් ඇරඹෙයි




වසරක ප්‍රමාදයකින් පසුව හා අභියෝග රැසක් මධ්‍යයේ ලොවක් බලා සිටි 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල උත්සවාකාරයෙන් අද පස්වරුවේ ආරම්භ කෙරුණා. ඒ, ජපානයේ ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩාංගනයේදීයි. පවතින කොරෝනා අවදානම මධ්‍යයේ නරඹන්නන්ගෙන් තොරව මෙවර ඔලිම්පික් උළෙල ආරම්භ වීම ඔලිම්පික් ඉතිහාසයට ද එක්වනු ඇති.

කෙසේවෙතත් අලංකාර ගිනිකෙළි සංදර්ශනයකින් විචිත්‍රවත් වෙමින් උළෙලේ කටයුතු ආරම්භ කෙරුණා. වෙනදාට ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් මැද සමාරම්භක උලෙලට එක්වන ක්‍රීඩකයින් අදත් ප්‍රේක්ෂකයින් නොමැති වුවත් සුපුරුදු පරිදි සිය රටේ ජාතික ධජය අතැතිව ඔලිම්පික් සමාරම්භයට එක්වීම කැපී පෙනෙන සිද්ධියක්.

සමාරම්භක අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයින් ලෙස අමෙරිකානු ජනාධිපති ආර්යා ජිල් බයිඩ්න් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් ටෝකියේ නුවරට පැමිණ සිටි බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

එළඹෙන සති දෙක තුලදී රටවල් 207 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,300 ක් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් වෙනුවෙන් තරග කරනු ඇති.  

මේවනවිට ඔලිම්පික් උළෙලට සම්බන්ධ පුද්ගලයින්ගෙන් කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති සංඛ්‍යාව 106 ක්. ටෝකියෝ නුවරට පැමිණ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි මේවනවිට තහවුරු වී ඇත්තේ. 

මෙවර ඔලිම්පික් උළෙල සඳහා දැරීමට සිදුව ඇති වියදම වෙනත් වසරවලට සාපේක්ෂව සියයට 22 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා උළෙල කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කල්දැමීමට සිදුවීම හේතුවෙන්. කෙසේවෙතත් ක්‍රීඩා උළෙල සඳහා වැයවන පිරිවැය ස්ටර්ලින් පවුම් බිලියන 11 යි දශම 5 ක් බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ. 

අගෝස්තු 08 වනදා දක්වා පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අසිරිය ඔබ වෙත ගෙන ඒමට නෙත් ස්පෝට්ස්මන් සූදානම්.