Saturday, May 11, 2024

General line - 0115112241

වසර 9කට පසු ශ්‍රී ලංකා පිල සිය මවුබිමේදී ඉන්දියාවට එරෙහිව එක්දින තරග ජයක් ලබයි




සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති 3 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. කෙසේ වෙතත් තරග 3කින් සමන්විත මෙම එක්දින තරගාවලිය 2ට එකක් ලෙස ජය හිමිකර ගත්තේ ඉන්දීය කණ්ඩායමයි.

ශ්‍රී ලංකාව ඊයේ ලද මෙම එක්දින තරග ජයග්‍රහණය සටහන් වූයේ ශ්‍රී ලංකා පිල සිය මවුබිමේදී ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයන් 10කට පසු ලද පළමු ජයග්‍රහණය ලෙසයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය මවුබිමේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව වසර 9කට පසු එක්දින ජයක් වාර්තා කිරීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා පිල සිය මවුබිමේදී 2012 වසරෙන් පසු ඉන්දිය කණ්ඩායමට එරෙහිව එක්දින තරග ජයක් වාර්තා කර තිබුණේ නැහැ. එමෙන්ම ශ්‍රී ලංකා පිල ඉන්දීය කණ්ඩායමට එරෙහිව 2017 වසරෙන් පසු ලද පළමු එක්දින තරග ජයග්‍රහණයද මෙය වනවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 3ක් සමගින් එක් වූ අතර ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් පස්දෙනෙකු මෙහිදී මංගල එක්දින වරම් දිනා ගැනීම විශේෂත්වයක්. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා වුණා. ඒ අනුව තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 45 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 225ක් රැස් කළා. ප්‍රිතිව් ෂෝ ලකුණු 49 යි. අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත්වුණා.

ලකුණු 226ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් තරගය ජය ගත්තා. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 76 යි. භානුක රාජපක්ෂ සිය මංගල අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 65ක්. දසුන් ශානකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පිල ලැබූ පළමු එක්දින ජයග්‍රහණයද මෙය වනවා.

තරගයේ වීරයා ලෙස අවිශ්ක ප්‍රනාන්දු සම්මාන දිනා ගත් අතර තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ඉන්දීය කණ්ඩායමේ සූර්යකුමාර් යාදව්. තරග 3කින් සමන්විත ඉන්දු - ශ්‍රී ලංකා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී හෙට පැවැත්වීමට නියමිතයි.