Monday, May 6, 2024

General line - 0115112241

මෙරට එන්නත්කරණ වාර්තාව යළි අලුත් වෙයි




දිනක් තුළ මෙරටදි වැඩිම කොරෝනා මර්දන එන්නත් ලබා දීම ඊයේ සිදු කර තිබෙනවා. ඖෂධ නිෂ්පාදනය, සැපයිීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ ඊයේ දිනය තුළ පමණක් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා හාර ලක්ෂ 12,211ක් ලබා දී ඇති බවයි.

ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් තුන් ලක්ෂ 6,622කට ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ඊයේ දිනයේදී පුද්ගලයින් 35,720 දෙනෙකුට ලබා දුන්නා. මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී මෙරට පුද්ගලයින් 69,830නෙකු සඳහා ලබා දී තිබෙනවා.

ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 39 දෙනෙකුට ඊයේ ලබා දුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ. ඒ අනුව මෙරට පුද්ගලයින් 71 ලක්ෂ 14,087 දෙනෙකු කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන තිබෙනවා. ඉන් දෙවන මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් සංඛ්‍යාව 17 ලක්ෂ 93,472ක්. 

මේ අතර කිසිදු බියකින් තොරව කොරෝනා මර්දන එන්නත් ලබා ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් යලි ඉල්ලීමක් කරනවා. කොරෝනා වෛරස් ප්‍රභේදවලින් ආරක්ෂා වීමට නම් එන්නත් කරණය අනිවාර්යයෙන්ම සිදුකර ගත යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය.

කොරෝනා වෛරසයේ අවධානම තවදුරටත් මෙරට තුළ පැවතීම හේතුවෙන් ඒ සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුව කටයුතු කිරීම අතිශය වැදගත් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.