Sunday, May 19, 2024

General line - 0115112241

පළමු විස්සයි විස්ස ගැටුමේ ජය ඉන්දියාවට




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට  සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රි සමත් වුණා. ඒ අනුව තරග 3 කින් සමන්විත මෙම තරගාවලිය 1-0ක් ලෙස ඉන්දීය කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 5 ක් දැවී ලකුණු 164 ක් රැස් කළා. එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 3 ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 126 ක් පමණයි.

සිය මංගල ජාත්‍යන්තර පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයට එක් වූ චරිත් අසලංක පන්දු 26 කදී ලකුණු 44 ක් රැස් කිරීමට සමත් වුණා. ඒ, හයේ පහර 3 ක් හතරේ පහර 3 ක් සමගින්. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 26 යි. ලකුණු 22 කට කඩුළු 4 ක් දවා ගත් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.

ආබාධයට ලක්ව සිටින භානුක රාජපක්‍ෂ ඊයේ තරගයට ක්‍රීඩා නොකළ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායමට බලපෑමක් එක් කළ බවයි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සදහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් පළමු විස්සයි විස්ස තරගය අතරතුරදී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය කුටිය වසා දැමීමට ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

ඒ, තරගය ආරම්භවීමට පැය කිහිපයකට පෙර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණු ඇන්ටිජන් පරීක්‍ෂාවකදී එම සේවකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගයි.

සෞඛ්‍ය නිර්දේශවලට අනුව දෙවන විස්සයි විස්ස තරගයේ සිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය කුටියේ කටයුතු නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඉන්දු - ශ්‍රි ලංකා දෙවන පන්දුවාර 20 ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වීමට නියමිතයි.