Sunday, May 19, 2024

General line - 0115112241

නිලූකගේ ඔලිම්පික් ගමන පළමු වටයෙන් නවතී




මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් පිරිමි කේවළ ඉසව්වේ දෙවන වටය පිළිබද නිලූක කරුණාරත්න තැබූ බලාපොරොත්තු අද බිද වැටුණා. ඒ, මූලික වටයේ අද පැවති දෙවන තරගයෙන්ද ඔහු පරාජයවීම හේතුවෙන්. අයර්ලන්ත ක්‍රීඩක නාත් ගුයෙන් හමුවේ නිලූක කරුණාරත්න වට 2-0ක් ලෙස මෙම තරගය පරාජයට පත් වුණා.

පළමු වටයේදී තියුණු තරගයක් දුන් නිලූක කරුණාරත්න එම වටය පරාජය වූයේ ලකුණු 21 ට 16ක් ලෙසයි. දෙවන වටය ලකුණු 21 ට 14 ක් ලෙස අයර්ලන්ත ක්‍රීඩකයා ජයගත්තා. එෆ් ඛාණ්ඩයෙන් තරග වැදුණු නිලූක කරුණාරත්න මූලික වටයේ පළමු තරගය චීන තායිපේ ක්‍රීඩකයෙකු හමුවේ පරාජය වී තිබුණා. ඒ අනුව මූලික වටයේ තරග 2 කම පරාජයවීම හේතුවෙන් නිලූක කරුණාරත්නට දෙවන වටය සදහා සුදුසුකම් ලැබීමට අවස්ථාව අහිමි වුණා.

බැඩ්මින්ටන් පිරිමි කේවළ ශ්‍රේණිගත කිරීම්වල 117 වන ස්ථානයේ පසුවන නිලූක කරුණාරත්න අද තරග වැදුණේ එහි 56 වන ස්ථානයේ පසුවන අයර්ලන්ත ක්‍රීඩක නාත් ගුයෙන් සමගයි. නිලූක කරුණාරත්න මෙවර සහභාගි වූයේ සිය 3 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙටයි. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී අසාර්ථක වුවද නිලූක කරුණාරත්න 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් පිරිමි කේවළ ඉසව්වේ අවසන් ක්‍රීඩකයින් 16 දෙනා අතරටද පිවිසියා.

මේ අතර ඔලිම්පික් රන් පදක්කමක් දිනූ ලාබාලතම ක්‍රීඩිකාව ලෙස ජපානයේ 13 හැවිරිදි ක්‍රීඩිකාවක් අද ඉතිහාසගත වුණා. ඒ, ස්ටී්‍රට් ස්කේට්බෝඩ් ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්. 

මෙම දස්කම දැක්වූයේ ජපානය නියෝජනය කරමින් එම තරග ඉසව්වට එක් වූ 13 හැවිරිදි මොමිජි නිෂියායි. ස්ටී්‍රට් ස්කේට්බෝඩ් තරග ඉසව්ව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සදහා මෙවර පළමු වරට ඇතුළත්වීම විශේෂත්වයක්.

මේ අතර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ චීනය අභිබවමින් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට අමෙරිකා එක්සත් ජනපදය සමත්ව තිබෙනවා. ඒ, රන් පදක්කම් 7 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනා ගනිමින්. සත්කාරක ජපානය රන් පදක්කම් 7 ක්, රිදි පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගනිමින් පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසු වනවා. චීනය රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ පසුවන්නේ තුන් වන ස්ථානයේයි.