Thursday, May 9, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට, ඉතිහාසය අළුත් කළ 20 යි 20 ක්‍රිකට් ජයක්




ඉන්දියාව සමග පැවැති දෙවන පන්දුවාර 20 යි 20 තරගයෙන් කඩුළු 04 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 දී කඩුළු 05 ක් දැවී ලකුණු 132 ක් රැස් කළා. නායක ශිකර් ධවාන් ලකුණු 40 යි. පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුළු 02 ක් බිඳ හෙලූ අතර දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග හා දසුන් ශානක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 ක් අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 133 ක් රැස්කරමින් තරගය ජය ගත්තා. මිනෝද් භානුක ලකුණු 36 යි. තරගයේ අවසානය තෙක් එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහරදුන් ධනංජය ද සිල්වා පන්දු 34 කදී නොදැවී ලකුණු 40 ක් රැස්කළා.

අවසන් පන්දුවාර 2 දී ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ලකුණු 20 ක් අවශ්‍යව තිබුණා. එම අවස්ථාවේදී පන්දුවට පහරදුන් චාමික කරුණාරත්න, බුවනේෂ්වර් කුමාර් යැවූ 19 වන පන්දු වාරයේදී 6 යේ පහරක් එල්ල කරමින් තරගයේ වාසිය ශ්‍රී ලංකා දෙසට නතු කර ගත්තා.

තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ධනංජය ද සිල්වායි. 

මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය 1 ට 1 ක් ලෙස සම තත්ත්වයට පත්වුණා. ශ්‍රී ලංකාව මෙලෙස පන්දුවාර 20 යි 20 ක්‍රිකට් පිටියේදී ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කළේ වසර 03 කට පසුව වීම විශේෂත්වයක්.