Thursday, May 16, 2024

General line - 0115112241

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන නඩු 08 කින් නිදහස්




හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන, අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 08 කින් නිදහස් කරන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ, එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ එම නඩුව ගොනුකිරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තුන්දෙනාගේ ලිඛිත විධානය ඉදිරිපත් වී නොමැති බැවින් නඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුවී ඇති බවයි.

එහිදී සරණ ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අදාළ නඩුව පවත්වාගෙන යාමට අපහසු නම් විත්තිකරු නිදහස් කරන ලෙසයි.

ඒ අනුව අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු අටකින් විත්තිකාර සරණ ගුණවර්ධන නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා.

2007 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේ දී රජයට පාඩු කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව එම නඩුව ගොනු කර තිබුණා