Thursday, May 16, 2024

General line - 0115112241

ඉන්දීය ක්‍රිකට් පිළේ තවත් දෙදෙනෙකුට කොරෝනා




ශ්‍රී ලංකාව සමග පැවැති ක්‍රිකට් තරගාවලියට එක්වූ තවත් ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

යෂ්වේන්ද්‍ර චාහල් සහ කේ ගෞතම් එලෙස කොරෝනා වෛරසය ආසාදනය වූ ක්‍රීඩකයින් වනවා. පළමුව වෛරසය ආසාදනය බවට තහවුරු වූ කෘනාල් පාණ්ඩයාගේ සමීපතමයින් වූ ඔවුන් දෙදෙනා අවසන් පන්දු වාර 20 තරග දෙකේදී ස්වයං නිරෝධායනයට ලක් කිරීමටයි තීරණය කර තිබුණේ.

ඉකුත් 27 වනදා පාණ්ඩයාට වෛරසය ආසාදිත බවට තහවුරු වීමත් සමග ඔහුගේ සමීපතමයින් 08 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළා. කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ක්‍රීඩකයින් දෙදෙනා ගල්කිස්ස හෝටලයේ පවත්වා ගෙන යන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර ඇති අතර සෙසු ඉන්දීය ක්‍රීඩකයින් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. 

මේ අතර ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ලැබූ ජයග්‍රහණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අද සුබ පැතුම් එක් කළා. 

මේ අතර එක්දින තරග 03 කට සහ පන්දුවාර 20 ක්‍රිකට් තරග 03 කට සහභාගී වීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබන සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණීමට නියමිතයි. ජෛව ආරක්ෂක බුබුළු සංකල්පය යටතේ මෙම තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පවත්වන අතර එක්දින තරගාවලිය සැප්තැම්බර් 02 වනදා ද පන්දුවාර 20 තරගාවලිය සැප්තැම්බර් 10 වනදා ද ආරම්භ වනවා.