Friday, September 20, 2024

General line - 0115112241

චරිතාංග නළුවෙකු වූවානම් විජයට බොහෝ දුර යන්න තිබුණා – අගමැති



විජය නන්දසිරි නම් ප්‍රතිභාන්විත රංගධරයා ජීවිතයෙන් සමුගත් බව හදිසියේම අසන්නට ලැබීමෙන් මෙරට සුවහසක් රසික ජනතාව සේම තමන්ද බලවත් සංවේගයට පත් වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විජය නන්දසිරි මහතාගේ අභාවය පිළිබඳව ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම ප්‍රහසන නළු භුමිකාවට සීමා නොවී විවිධ චරිතවලට අවතීර්ණ වීමේ ඉඩකඩ ලැබිණි නම් විජය නන්දසිරි මහතාට චරිතාංග නළුවකු ලෙස සිය රංගන ජීවිතයේ තවත් බොහෝ දුර යාමට අවකාශ තිබූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සම්පූර්ණ ශෝක පණිවිඩය බලන්න පහතින්

විජය නන්දසිරි මහතා කලකරුවකු ලෙස සහෘද ජනතාවට කොතෙක් සමීප වී සිටියේද යන්න, ඔහුගේ වියෝව සම්බන්ධයෙන් ජනතාව සංවේදී වූ ආකාරයෙන්ම මනාව පැහැදිලි වේ. ඔහු වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව යන ක්ෂේත්‍ර ඔස්සේ චරිතාංග නළුවකු ලෙසත්, සිනහව තිළිණ කරමින් සහෘද හදවත් සුවපත් කරන, හාස්‍ය උපහාසය කැටි කොට ගනිමින් සමාජ දේශපාලන විවේචන ඉදිරිපත් කරන ප්‍රහසන නළුවකු ලෙසත් අපූර්ව ප්‍රතිභාවක් පළ කළ ප්‍රවීණ රංගධරයෙකි. එසේම නිවේදකයෙකු, ගායකයෙකු, නාට්‍ය නිෂ්පාදකයෙකු, සොඳුරු මිතුරෙකු ලෙස ඔහු කලා ක්ෂේත්‍රය තුළ තැබූ ආදරණීය මතක සටහන් කිසිදා මැකී නොයනු ඇත.

පසුකාලීනව ප්‍රහසන නළුවකු ලෙස ප්‍රකටව සිටිය ද විජය නන්දසිරි මහතා රංගනයට පිවිසෙන්නේ 1966 වසරේ අමරදාස ගුණවර්ධනයන්ගේ ‘විදුරු දිව’ වේදිකා නාට්‍යයෙනි. පසුව ‘සිංහබාහු’, ‘මනමේ’, ‘මහසාර’, ‘නරිබෑණා’, ‘රත්නාවලී’, ‘තාරාවෝ ඉගිලෙති’, ‘හුණුවටයේ කතාව’, ‘කුවේණි’ වැනි නාට්‍ය රැසකට රංගනයෙන් දායක විය. දීර්ඝ කාලයක් වේදිකාවේ මනමේ කුමරු ලෙස කිරුළු දරන්නට ද ඔහුට හැකි විය. ප්‍රහසන නළු භුමිකාවට සීමා නොවී විවිධ චරිතවලට අවතීර්ණ වීමේ ඉඩකඩ ලැබිණි නම් විජය නන්දසිරි මහතාට චරිතාංග නළුවකු ලෙස සිය රංගන ජීවිතයේ තවත් බොහෝ දුර යන්නට අවකාශ තිබිණි. කෙසේ නමුත් කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් තුළ සිය අපූර්ව ප්‍රතිභාව සනිටුහන් කළ විජය නන්දසිරි වැනි ප්‍රවීණ කලාකරුවන් අහිමිවීම සැබවින්ම පිරිමැසිය නොහැකි පාඩුවකි.

ප්‍රවීණ රංගධර විජය නන්දසිරි මහතාගේ හදිසි අභාවයෙන් ශෝකයට පත් ආදරණීය බිරිය දේවිකා මිහිරානි මහත්මිය, දූ දරුවන් ඥාති හිතමිත්‍රාදීන් වෙත මාගේත්, මෛත්‍රි වික්‍රමසිංහ මැතිනියගේත් සාතිශය සංවේගය පළකරමින්, අප සොඳුරු කලාකරුවාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.