Thursday, May 9, 2024

General line - 0115112241

චීන,ඇමරිකානු යුද අභ්‍යාස හේතුවෙන් දකුණු චීන මුහුදේ උණුසුම් තත්වයක්




බටහිර රටවල් විසින් දකුණු චීන මුහුද ආශ්‍රිතව දියත් කර ඇති යුද අභ්‍යාසය⁣ට ප්‍රතිචාරයක් ලෙස චීනය ද යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් කලාපයේ දැඩි ආරක්ෂක උණුසුමක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම්වලට අභියෝග කිරීම සදහා බටහිර රටවල් රැසක් ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් දියත් කර තිබෙනවා.

දැනටමත්, ඇමරිකාව,බ්‍රිතාන්‍යය ,
ජර්මනිය,ඇතුළු රටවල් කිහිපයක යුද නෞකා ඒ සදහා සම්බන්ධ වී ඇති අතර ඉන්දියාව ද ඊට සම්බන්ධවීම සදහා සිය නාවික යාත්‍රා පිටත් කර ඇතැයි සදහන්.

මේ පසුබිම තුළ චීනය ද පසුගිය සිකුරාදා දකුණු චීන මුහුදේ හයිනාන් දූපත් කලාපය ආශ්‍රිතව නාවික යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

මෙය ලබන අගහරුවාදා දක්වා පැවැත්වෙන බවත් එහිදී ගුවන් යානා නාශක අවි මෙන්ම නෞකා ප්‍රහාරක මිසයිල ද යොදා ගැනීමට නියමිත බවත් සදහන්.

මෙහිදී චීනය සජීවී අත්හදා බැලීම් සිදුකිරීමට නියමිත බවත් මේ හේතුවෙන් හයිනාන් දූපත් කලාපයේ නාවික කටයුතු තහනම් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බටහිර රටවල් නිරතුරුව සිදුකරන යුද අභ්‍යාස සහ චීනය ඊට දක්වන දැඩි  ප්‍රතිචාර හේතුවෙන් දකුණු චීන මුහුදේ ඕනෑම මොහොතක ගැටුම්කාරී තත්වයක් පවා ඇතිවිය හැකි බව අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂකයන්ගේ අදහසයි.