Friday, May 17, 2024

General line - 0115112241

20 යි 20 ලෝක කුසලානයට හොඳම කණ්ඩායම තේරීම ඇරඹේ




දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සහ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් අදියරක් ලෙස පැවැත්වෙන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.

ඒ, කණ්ඩායම් 04ක සහභාගීත්වයෙන්. තරගාවලියේ සියළු තරග මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

SLC බ්ලූස් (Blues), රෙඩ් (Red) , ග්‍රීන් (Greens) සහ SLC ග්රේ (Grey)  වශයෙන් තරගාවලියට එක් වන කණ්ඩායම් 4 නම් කර තිබෙනවා.

දසුන් ශානක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් හා අශාන් ප්‍රියන්ජන් විසින් අදාළ කණ්ඩායම්වල නායකත්වය දරනු ලබනවා.

පළමු තරගය අද පැවැත්වෙන්නේ SLC ග්රේ හා ග්‍රීන් කණ්ඩායම් අතරයි.

එම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. දිනයේ දෙවැනි තරගය SLC බ්ලූස් හා රෙඩ් කණ්ඩායම් අතර රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 6 කට ක්‍රීඩා කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් අගෝස්තු 24 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුසුදුකම් ලබනු ඇති.

තරගාවලියේ සියළුම තරග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වෙන බවත්, තරග පැවැත්වෙන සෑම දිනකම තරග 2 බැගින් පැවැත්වෙන බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මේ අතර වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා කුසල් ජනිත් පෙරේරා මෙම තරගාවලියෙන් විවේක ගන්වා තිබෙනවා. එමෙන්ම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් සදුන් වීරක්කොඩි, ජෙහාන් ඩැනියල්, සංගීත් කුරේ, කුෂාන් ජයවික්‍රම, ළහිරු ගමගේ, අශාන් රන්දික හා ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින් තරගාවලියෙන් ඉවත් කිරිමටයි කටයුතු කර ඇත්තේ.

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් සචිදු කොළඹගේ, නිමේෂ් විමුක්ති හා මොහොමඩ් ෂිරාස් යන ක්‍රීඩකයින්ට ද මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ආබාධයක් හේතුවෙන් භානුක රාජපක්ෂ ද තරගාවලියට එක් නොවන බව මීට පෙර වාර්තා වුණා.