Monday, May 6, 2024

General line - 0115112241

පිළියන්දල SOS ගම්මානයේ ළමුන් 50 දෙනෙකුට කොවිඩ්

මහේෂ් කීර්තිරත්න




කොරෝනා වෛරසයේ අවදානම හේතුවෙන් තවත් නගර 7 ක වෙළදසැල් වසා දැමීමට වෙළද සංගම් අද තීරණය කළා. බදුල්ල, බලංගොඩ, බණ්ඩාරවෙල, මාතලේ - යටවත්ත, තංගල්ල සහ ඇඹිලිපිටිය යන නගරවල වෙළද සැල් අද සිට මෙලෙස වසා දැමීමට තීරණය කෙරුණා. මීට පෙර ගම්පහ, අම්බලන්තොට, අම්බලන්ගොඩ, වේයන්ගොඩ, පලාපත්වල ඇතුළු නගර 9 ක වෙළදසැල් වසා දැමීමට වෙළද සංගම් තීරණය කළා. 

මේ අතර මාතලේ මහ රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ 27 දෙනෙකුට සහ සුළු සේවකයින් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ වුවද රෝහල් කටයුතු පවත්වාගෙන යන බවයි රෝහල් පාලන අධිකාරිය සදහන් කළේ.

මේ අතර පිලියන්දල SOS ගම්මානයේ දරුවන් පනහකට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ එම ළමා ගම්මානයට අමුත්තන් පිවිසීමද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි එහි පාලන අධිකාරිය පැවසුවේ.
මේ අතර මහනුවර පිහිටි වැඩිහිටි නිවාසයකින් කොරෝනා ආසාදිතයින් 46 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් ආසාදිතයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ මියගොස් ඇති අතර අනෙක් ආසාදිතයා අද මියගොස් තිබෙනවා.
මේ අතර මහරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් 12 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අතරට වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා සහ    උප  පොලිස් පරීක්ෂකවරුන් සිව්දෙනෙකු ද අයත්. ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ගැණුනු තවත් පොලිස් නිලධාරීන් 15 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.  

ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 29 දෙනෙකු ද ස්වයං නිරෝධානයට යොමු කර තිබෙනවා. එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 08 දෙනෙකුට මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ අතර මෙම නිලධාරීන් පිරිස ඔවුන්ගේ ආසාදිතයින් වනවා. 

මේ අතර කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම දිස්ත්‍රික් හා උප කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනීමේ කටයුතු ලබන 20 වනදා දක්වා අත්හිටුවා තිබෙනවා. කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේ සිය දෙපාර්තමේන්තුවේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ශාඛාවේ නිලධාරීන් රැසකට කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මේ අතර රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දුම්රිය එන්ජින් රියදුරු සහායක තනතුර සදහා බදවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණද කල් දමා තිබෙනවා. හෙට සිට 19 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ එම සම්මුඛ පරීක්‍ෂණ නැවත පවත්වන දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සදහන් කළේ.

මේ අතර කොළඹ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි පාසල් සිසුවෙක් කොරෝනා වෛරසය ආසාදනය වී ජීවික්‍ෂයට පත්ව තිබෙනවා. එම සිසුවා 14 වනදා කළුබෝවිල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණු අතර එහිදී අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් ඔහුට ඔක්සිජන් ද ලබාදී තිබුණා. කෙසේවෙත් ඔහු ඊයේ දිනයේ ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.