Sunday, May 5, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට 07 වන ස්ථානය




කෙන්යාවේ නයිරෝබි නුවරදී පැවැත්වෙන ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ අවසන් තරඟය ඊයේ පැවැත්වුණා. ඒ සදහා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණේ 7වන ස්ථානයයි. තරගය අවසන් කිරීම සඳහා ඔවුන්ට ගතවූ කාලය විනාඩි 03 යි තත්පර 26 යි දශම 3 යි 3ක්. 

මෙය මිශ්‍ර සහය දිවීමේ ඉසව්වක් සදහා ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි වූ පළමු ජාත්‍යන්තර තරගය වන අතර ලෝක මට්ටමේ තරගාවලියක මෙරට සහය දිවීමේ කණ්ඩායමක් අවසන් මහා තරගයකට එක් වූ දෙවන අවස්ථාවයි.

මේ අතර මෙම තරගාවලියේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුකම් ලබා ගැනීමට මේධානි ජයමාන්න සමත්වුණා. ඒ, පස්වන මූලික වටයේ තරඟයේදී තත්පර 12 යි දශම 0 යි 1 ක දක්ෂතාවක් වාර්තා කරමින්. ඇයට එහිදී 6 වැනි ස්ථානය හිමි වූ අතර තරඟ නිමි කාලය අනුව ඇයට අවසන් පූර්ව වටයට සහභාගි වීමේ අවස්ථාව හිමිවුණා.

මේ අතර පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේ අවසන් වටයට සුදුකම් ලැබීමේ අවස්ථාව ඉසුරු අබේවර්ධනට අහිමි වුණා. එම ඉසව්වේ මූලික වටයේ 2 වන තරඟයට එක් වූ ඉසුරු අබේවර්ධන තරඟය නිම කළේ 7 වැන්නා ලෙසයි.