Sunday, May 5, 2024

General line - 0115112241

වනිදු හසරංග IPL තරග සදහා ගිවිසුම් ගත වෙයි 




ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් IPL තරගාවලියේ ඉතිරි තරග සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබෙනවා.

එම කණ්ඩායම නියෝජනය කළ ඇඩම් සම්පා වෙනුවට ඔහුව ආදේශ කර ඇති බවයි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නිවේදනය කළේ.

එමෙන්ම ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද එම කණ්ඩායම සමග ගිවිසුම් ගතව තිබෙනවා.

ඒ ඩැනියෙල් සෑම්ස් වෙනුවටයි.

තරගාවලියට අදාළ ජෛව ආරක්ෂිත බුබුල තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් පසුගිය මැයි මාසයේ දී අතරමගදී අත්හිටුවීමට සිදු වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාලියේ ඉතිරි තරග සැප්තැම්බර් 19 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

දින 27ක් තුළ දී තරග 31ක් පවත්වා අවසන් කිරීමට නියමිතව ඇති අතර අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 15 වනදා ඩුබායි හී දී යි.

ඉන් දින දෙකකට පසුවල එනම් ඔක්තෝබර් 17 වනදායි 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

IPL තරගාවලියේ ඉතිරි තරග ආරම්භ කරමින් පළමු තරගය, එනම් මෙවර තරගාවලියේ 30 වන තරගය සැප්තැම්බර් 19 වනදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර ඩුබායි හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඩුබායිහී දී තරග 13ක් ද සාජා හී දී තරග 10 ක් ද අබුඩාබි හී දී තරග 8ක් ද පැවැත්වීමට නියමිතයි.

අවසන් වටයේ පළමු තරගය ඩුබායිහී දී ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වෙන අතර, අවසන් වටයේ දෙවැනි හා තෙවැනි තරග ඔක්තෝබර් 11 වැනිදා හා 13 වැනිදා සාජාහී දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.