Sunday, September 22, 2024

General line - 0115112241

අනුර සේනානායකට රෝහලේදී සැප ලු




රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප‍්‍රතිකාර ලබන්නේ කුමන පදනමකින්දැයි සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් එසඳ පීරිස් එම රෝහලේ අධ්‍යක්ෂවරයාට අද (10) නියෝග කළා.

අනුර සේනානායක කොළඹ ජාතික රෝහලෙන් ප‍්‍රතිකාර ලබාගෙන ඇති කාලය සහ ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහුට එම රෝහලම අවශ්‍යදැයි ද දැනුම් දෙන ලෙසයි එහිදී වැඩිදුරටත් නියෝග කෙරුණේ.

මීට අමතරව අනුර සේනානායක කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේ මන්දැයි සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස බන්ධනාගාර රෝහලේ අධ්‍යක්ෂවරයාට ද නියෝග කෙරුණා.

එම නියෝගය නිකුත් කෙරුණේ් රක්ෂිත බන්ධනාගාරගත වෙනත් සැකකරුවන්ට නොමැති විශේෂ වරප‍්‍රසාද අනුර සේනානායක කොළඹ ජාතික රෝහලේදී භුක්තිවිඳින බවට අගතියට පත් පාර්ශ්වය කළ කරුණු දැක්වීමක් අනුවයි.

සිය දියණියගේ උපාධි ප‍්‍රදානෝත්සවය ලබන 15 වෙනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන බවද ඊට සහභාගි වීමට අවශ්‍ය බවද අනුර සේනානායක අධිකරණයට දැනුම් දුන්නා. කෙසේ වෙතත් ඒ සඳහා අවසර දිය නොහැකි බවයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් එසඳ පීරිස් කියා සිටියේ. නඩුව අගෝස්තු මස 24 වෙනිදා නැවත කැඳවීමට නියම කෙරුණා.