Friday, May 17, 2024

General line - 0115112241

දෙවන එක්දින ගැටුමේ ජය දකුණු අප්‍රිකාවට




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට දකුනු අප්‍රිකානු කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා. 

ඒ අනුව තරග 3කින් සමන්විත මෙම එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට හැකියාව ලැබුණා. 

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා කිරීමටයි තීරණය කෙරුණේ. තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකානු කණ්ඩායම දිනා ගත් අතර ඔවුන් එහිදී පළමුවෙන් පන්දුවට පහරදිමට තීරණය කළා. 

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 47දී කඩුලු 6ක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 283ක්. සිය තෙවැනි එක්දින ශතකය වාර්තා කරමින් දකුණු අප්‍රිකා ඉනිම ශක්තිමත් කළ ජෙනමන් මලාන් ලකුණු 121  ලබා ගත්තා. 

ඒ, හයේ පහරක් හා හතරේ පහර 9ක් සමගින්. පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර හා චාමික කරුණාරත්න  කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත්වුණා.

 ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට පන්දුවාර 41කදී ලකුණු 265ක ඉලක්කයක් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ හිමි වුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායමට එහිදී පන්දුවාර 36.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 197ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 19කට බිද වැටීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට දැඩි ලෙස බලපෑවා.  

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 8කට දැවී ගිය අතර මිනෝද් භානුක රැස් කළේ ලකුණු 7ක් පමණයි. භාණුක රාජපක්ෂ යළිත් වරක් ලකුණු නොලබා දැැවී ගියේ ශ්‍රී ලංකා පිලේ අංක 3 පිතිකරු ස්ථානය පිළිබද යළිත් ප්‍රශ්නාර්ථයක් තබමින්. 

සටන්කාමී ඉනිමක් දියත් කළ චරිත් අසලංක පන්දු 69කදී ලකුණු 77ක් රැස් කිරීමට සමත්වුණා. 

ඒ හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමගින්. නායක දසුන් ශානක ලකුණු 30 යි.  චාමික කරුණාරත්න පන්දු 23කදී ලකුණු 36ක් ලබා ගත්තා. 

ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා එක් හතරේ පහරක් ඇතුළත්. සිය එක්දින දිවියේ හොදම පන්දු යැවීම වාර්තා කළ ටැබ්රයිස් ශම්සි ලකුණු 49කට කඩුලු 5ක් දවා ගත්තා. කාගිසෝ රබාඩා බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 2ක්. දෙරට අතර තුන්වන සහ අවසන් තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගය 7 වනදා පැවැත්වීමට නියමිතයි.