Monday, May 6, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තීරණාත්මක ක්‍රිකට් තරඟය අද 




සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද පැවැත්වෙනවා. 

තරඟය ආරම්භ වන්නේ පස්වරු 2 යි 30ටයි. තරග 3කින් සමන්විත මෙම එක්දින තරඟාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්වයේ පසුවනවා. 

අද පැවැත්වෙන තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින තරඟයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව අද තරඟය සඳහා තවත් තුන් ඉරියව් ක්‍රිඩකයෙකු ශ්‍රී ලංකා පිලට කැඳවීමටයි අවධානය යොමුව ඇත්තේ.  

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟය ජය ගතහොත් ඔවුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව එක්දින තරඟාවලියක් ජය ගන්නේ වසර 8කට පසුවයි.  

මේ අතර අඩුම ඉනිම් සංඛ්‍යාවකදී එක්දින ලකුණු දහසේ සීිමාව පසු කළ ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස රෝයි ඩයස් පිහිටුවා තිබූ වාර්තාව බිද හෙලීමට යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට අද තරඟයේදී අවස්ථාවක් හිමිව තිබෙනවා. 

රෝයි ඩයස් මෙම වාර්තාවට හිමිකම් කියන්නේ එක්දින ඉනිම් 27කදී එක්දින ලකුණු දහස පසු කරමින්. අවිශ්ක ප්‍රනාන්දු මේ වන විට එක්දින ඉනිම් 25කට එක්වෙමින් එක්දින ලකුණු 954ක් රැස් කර තිබෙනවා. 

ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දුට මෙම වාර්තාව බිඳ හෙලීමට ඉනිම් දෙකකදී අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 46ක් පමණයි. 

ඒ අනුව රෝයි ඩයස් විසින් මීට වසර 36කට පෙර එනම් 1985 වසරේදී තැබූ මෙම වාර්තාව බිඳ හෙලීමට අවිශ්ක ප්‍රනාන්දුට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග අද පැවැත්වෙන තරඟයේදී කදිම අවස්ථාවක් හිමිව තිබෙනවා.  

රෝයි ඩයස්ගෙන් පසු අඩුම එක්දින ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු දහස පසු කළ ශ්‍රී ලාංකික පිතිකරුවන් වන්නේ උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල සහ චාමර සිල්වායි.  

උපුල් තරංග එක්දින ඉනිම් 28කදී, දිනේෂ් චන්දිමාල් එක්දින ඉනිම් 30 කදී, නිරෝෂන් දික්වැල්ල එක්දින ඉනිම් 30කදී සහ  චාමර සිල්වා එක්දින ඉනිම් 31කදී එක්දින ලකුණු දහස පසු කර තිබුණා. 

අඩුම ඉනිම් සංඛ්‍යාවකදී එක්දින ලකුණු දහස පසුකළ පිතිකරුවා ලෙස ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ පාකිස්තානයේ ෆකාර් සමාන්. ඔහු එක්දින ඉනිම් 18කදී මෙම කඩඉම පසුකර තිබුණා.