Monday, May 6, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාව පැරදවූ ශ්‍රී ලංකාව ICC  සුපර් ලීග් ලකුණු සටහනේ පස්වන තැනට




වසර 08 කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරඟාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. 

ඒ, සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති අවසන් එක්දින තරගය ලකුණු 78 කින් ජය ගනිමින්. 

ඒ අනුව දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 02 ට 01 ක් ලෙස ජය හිමි කරගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගෙන පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 203 ක් රැස් කළා. 

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක ලකුණු 47 ක් රැස්කිරීමට සමත් වුණා. 

ධනංජය ද සිල්වා ලකුණු 31 ක් ලබාගත් අතර දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 29 ක් එක් කළා. 

කේෂව් මහරාජ් ලකුණු 38 කට කඩුලු 03 යි.

ලකුණු 204 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම  පන්දුවාර 30 කදී ලකුණු 125 කට සීමා කිරීමට දඟ පන්දු යවන්නන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බලඇණිය සමත් වුණා. දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කලසීන් දැවී ගියේ ලකුණු 22 කටයි. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගයේදී එක්දින වරම් හිමිකරගත් මහීෂ් තීක්ෂණ විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 37 කට කඩුලු 04 ක් දවා ගැනීමට සමත් වුණා. දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග අතර කඩුලු 02 බැගින් බෙදී ගියා.

මහීෂ් තීක්ෂන මෙම තරගයේදී දැක්වූ දක්ෂතාව සිය මංගල එක්දින තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු දැක්වූ ඉහළ දක්ෂතාව වනවා. 

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිය මංගල තරගයේදී ලකුණු 15 කට කඩුලු 03 ක් දවාගත් වනිදු හසරංගයි.

මේ අතර මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ෂක්‍ක්‍ සුපර් ලීග් ලකුණු සටහනේ පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 42 ක් සමගයි.