Monday, May 6, 2024

General line - 0115112241

20 -20 ක්‍රිකට් ලෝක කුසලානයේදී මහේන්ද්‍ර සිං දෝනි යළි ඉන්දීය පිලට




ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වන මහේන්ද්‍ර සිං දෝනි යළි ඉන්දීය ජාතික කණ්ඩායමට එක් කර තිබෙනවා. 

ඒ, එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහායි. 

කෙසේවෙතත් දෝනි මෙලෙස ඉන්දීය කණ්ඩායම හා එක්වන්නේ ක්‍රීඩකයෙකු ලෙස නොව ක්‍රීඩකයින් අධීක්‍ෂණය කරන විශේෂ උපදේශකවරයෙකු ලෙසයි.

ඉකුත් අගෝස්තු මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් දෝනිගේ සහාය, මෙලෙස ඉන්දීය ක්‍රිකට් පිලට යළි ලබා ගැනීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් මෙම තීරණය පුදුම සහගත බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා පවසන්නේ එළඹෙන ලෝක කුසලානයේදී ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරුට සහ කළමණාකාරිත්වයට මග පෙන්වීම සදහා මහේන්ද්‍ර සිං දෝනි පත් කළ බවයි.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන ඉන්දිය සංචිතය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ වසර 4 කට පසුව යළි දග පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍ර අශ්වින් ඉන්දීය සංචිතයට කැදවීමයි. එමෙන්ම ආරම්භක පිතිකරු ශිකර් දවාන්ද ඉන්දීය සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

නවක ක්‍රීඩකයින් වන සූර්යකුමාර් යාදෙව්, වරුන් චක්‍රවර්තී, අක්සර් පටෙල්, රාහුල් චාහර්, සහ ඉෂන් කිෂන් ද ඉන්දීය සංචිතයට කැඳවා තිබීම කැපී පෙනෙනවා.

අතිරේක ක්‍රීඩකයින් ලෙස ශෙයාස් අයියර්, දීපක් චාහර් සහ ෂර්දුල් තාකූර් ඉන්දීය සංචිතයට කැඳවීමටයි තීරණය කර ඇත්තේ. 

කෙසේවෙතත් පන්දුවාර 20 ක්‍රිකට් පිටියේ දක්‍ෂතා දැක්වූ වොෂින්ටන් සුන්දර්, ටී. නටරාජන් සහ යෂ්වේන්ද්‍ර චාහර් ඉන්දීය සංචිතයට එක් කර නොතිබීමද විශේෂත්වයක් ලෙසයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ. 

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඩුබායිහිදී ඔක්තෝම්බර් 17 වනදා සිට ආරම්භ වනවා.