Monday, May 6, 2024

General line - 0115112241

අද තරගයට කුසල් වෙනුවට චන්දිමාල් කැඳවන ලකුණු




එළඹෙන ඔක්තෝබර් මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකානු සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භවීමට පෙර මෙම සංචිතය නම් කිරීමයි. 

පන්දුවාර විස්සයි විස්ස පිටියේ කැපීපෙනෙන ක්‍රීඩකයින් වන පෆ් ඩූ ප්ලේසිස්, ක්‍රිස් මොරිස් සහ ඉම්රාන් තහියර් දකුණු අප්‍රිකානු ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව නැහැ. 

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන එංගලන්ත කණ්ඩායමද මේ වනවිට නම් කර තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් කිරුළ දිනාදීමට සුවිශේෂි මෙහෙයක් කළ බෙන් ස්ටොක් සහ ජොෆ්ර ආචර් කණ්ඩායමෙන් ඉවත් කර තිබීමයි. 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන රටවල් දහසයෙන් 13 ක් ම මේ වනවිටත් සිය සංචිත ප්‍රකාශයට පත් කර අවසන්. ශ්‍රී ලංකාවද සිය පන්දුවාර විස්ස ලෝක කුසලාන සංචිතය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. 

දකුණු අප්‍රිකානු තරගාවලියට නම් කළ රමේෂ් මෙන්ඩිස්, මිනෝද් භානුක හා පැතුම් නිශ්ශංකට ලෝක කුසලාන සංචිතයේ ඉඩක් වෙන් නොවනු ඇති බවටයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ. දිනේෂ් චන්දිමාල් ලෝක කුසලාන සංචිතයට එක්කරනු ඇති බවට වාර්තා පළ වනවා. 

මේ අතර ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වනවා. තරගය ශ්‍රී ලංකාවේලාවෙන් රාත්‍රී 7 ට ආරම්භවීමට නියමිතයි. අද තරගයට කුසල් ජනිත් පෙරේරා එක්වනු ඇති බවට වාර්තා පළ වුවද නෙත් ස්පෝර්ට්ස්මන් වෙත තහවුරු වුණේ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ඇතුළත් වනු ඇති බවටයි. භානුක රාජපක්‍ෂටද අද තරගයේදී යළි අවස්ථාවක් හිමිවනු ඇති.