Saturday, May 4, 2024

General line - 0115112241

ලොවක් කැළඹූ සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 20 ක් සපිරෙයි




මානව ඉතිහාසයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 20 ක් සම්පූර්ණ වනවා. ප්‍රහාරය එල්ල වූයේ අමෙරිකාවට වුවත් ලොව රටවල් රැසක ඉරණම මෙම ප්‍රහාරයෙන් පසුව වෙනස් වුණා. කෙසේවෙතත් ඉතිරි වූ අමිහිරි මතක රැසක් අතරින් අමෙරිකානු ජනතාව ඇමතූ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඉල්ලා සිටියේ රට වෙනුවෙන් එකමුතු වන ලෙසයි.

කිසිදින බිඳිය නොහැකි දෙයක් වේ නම් එය එකමුතුකම බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් අමෙරිකාව පුරා අද විවිධ අනුස්මරණ උත්සව පැවැත්වීමට නියමිතයි. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හා ඔහුගේ බිරිඳ ද එවැනි අනුස්මරණ උත්සව කිහිපයකටම සහභාගී වනු ඇති බවයි වාර්තා වන්නේ. 

අල්කයිඩා සංවිධානයේ මරාගෙන මැරෙන ප්‍රහාරකයින් 19 දෙනෙකු විසින් 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා මම ප්‍රහාර මාලාව සිදුකළා. කණ්ඩායම් 04 කට වෙන්වූ ත්‍රස්තවාදීන් අමෙරිකානු මගී ගුවන් යානා 04 ක් පැහැර ගෙන තිබුණා. එම සෑම කණ්ඩායමකටම ගුවන් යානා හැසිරවීම පිළිබඳ හොඳින් පුහුණුව ලැබූ එක් ත්‍රස්ත සාමාජිකයෙකු බැගින් සිට ඇති බවයි පැවසෙන්නේ. 

පැහැරගනු ලැබූ ගුවන් යානා 02 ක් නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුණුවල ගැටීමට සැලැස්වූ අතර තවත් ගුවන් යානායක් පෙන්ටගනයේ බටහිර කොටසේ ගැටෙන්නට සැලැස්වුවා. 

අනෙක් ගුවන් යානය පෙන්සිල්වේනියා හිදී අනතුරට ලක්වු අතර එය ධවල මන්දිරයට හෝ වොෂිංටන් අගනුවරට ප්‍රහාර එල්ල කිරීමට පැමිණෙන්නට ඇති බවටයි පසුව ප්‍රකාශ කෙරුණේ. ප්‍රහාර මාලාවෙන් විදේශිකයින් ඇතුළු පුද්ගලයින් 2,996 දෙනෙකු මියගියා. තුවාල ලැබූ පිරිස 25,000 ක් පමණ වනවා. සිදුවූ දේපළ හානිය අමෙරිකානු ඩොලර් බිලියන 10 කට වැඩි බවටයි අමෙරිකාව ගණන් බලා තිබුණේ. 

ප්‍රහාරයේ වගකිම භාරගත් අල් කයිඩා සංවිධානයටත් එහි හිටපු නායක ඔසාමා බින් ලාඩ්න්ටත් ප්‍රතිවිපාක අත්කර දීම සඳහා අමෙරිකාව 2001 වසරේදී ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළා. ඒ, තලෙයිබාන් පාලනය බිඳ දමමින්. එහි ප්‍රථිපලයක් ලෙස 2011 වසරේදී ඔසාමා බින් ලාඩ්න් ඝාතනයට ලක්වුණා. 

ඇෆ්ගනිස්තානය වසර 20 ක් පුරා පැවතුනේ යුද්ධයකට මැදිවයි. කෙසේවෙතත් සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 20 ක් සපිරෙන අද දිනයේදී යළිත් ඇෆ්ගනිස්තානය පාලනය කරන්නේ තලෙයිබාන් සංවිධානය විසින්. අමෙරිකාව සිය හමුදාව සහ රැගෙන යා හැකි පිරිස රැගෙන ඉකුත් 31 වනදා ඇෆ්ගනිස්තානයෙන් පිටව ගියා.