Saturday, May 4, 2024

General line - 0115112241

ශුද්ධෝත්තම අතිඋතුම් පළමුවන ෆ්රැන්සිස් පාප්වහන්සේ හංගේරියාවට




ශුද්ධෝත්තම අතිඋතුම් පළමුවන ෆ්රැන්සිස් පාප්වහන්සේ ඊයේ හංගේරියාවට පැමිණ තිබුණා. 

ඒ, උන්වහන්සේගේ මධ්‍යම යුරෝපානු සංචාරය ආරම්භ කරමින්. එම සංචාරයේදී හංගේරියාවේ මෙන්ම ස්ලෝවැකියාවට පැමිණීමටයි පාප්වහන්සේගේ සැලසුම් කර ඇත්තේ. ඒ අනුව ඊයේ හංගේරියාවට පැමිණි උන්වහන්සේ පැය 07 ක වැනි කෙටි කාලයක් එරට බුඩාපස්ට් නුවර රැඳී සිට තිබුණා. 

ඉන් අනතුරුව ඊයේ පස්වරුවේ හංගේරියාවෙන් පිටත් වූ ශුද්ධෝත්තම අතිඋතුම් පළමුවන ෆ්රැන්සිස් පාප්වහන්සේ ස්ලෝවැකියාවට පැමිණ ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. උන්වහන්සේ ස්ලෝවැකියාවේ දින 04 ක් රැඳී සිටීමට නියමිත බව ද වාර්තා වනවා.

මේ අතර ජී 20 අන්තර් ආගමික සමුළුවේ ප්‍රධාන දේශනයට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේවනවිට ඉතාලියට ගොස් සිටිනවා. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම ඉතාලි සංචාරයේදී පාප්වහන්සේ බැහැදැකීම පිණිස ඉල්ලීමක් කර ඇතැයි ඉකුත් දා පාර්ශව කිහිපයකින් චෝදනා එල්ල වුණා. 

එම චෝදනා ප්‍රතික්ෂේප කළ විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ වතිකානය වෙත යාම සඳහා අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර හෝ අග්‍රාමාත්‍යවරයාට එවැනි ආරාධනයක් හෝ ලැබී නොමැති බවයි.  

කෙසේවෙතත් ජී 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේවනවිට ඉතාලියට ගොස් සිටියත් ශුද්ධෝත්තම පළමුවන ෆ්රැන්සිස් පාප්වහන්සේ මේවනවිට එරටින් බැහැරව විදෙස් සංචාරයක නිරත වී සිටිනවා. උන්වහන්සේගේ එම සංචාරය නිමාවන්නේ තවත් දින 03 කින් අනතුරුව බවයි විදෙස් වාර්තා පැවසුවේ.